සකලබුජං

 


ගායනය - ශිරෝමි ෆර්නෑන්ඩු

පද - මෙල්රෝයි ධර්මරත්න

සංගීතය - මෙල්රෝයි ධර්මරත්න

 

සිංහලෙන් ලියන්නත් හිතෙන්නෙ නැති ජූලි මාසයක අපි තීරණය කළා ගොඩ කාලයක් තිස්සෙ ඇහිලා තිබිච්ච හිතලා තිබිච්ච නැති සින්දුවක් ගැන කල්පනා කරන්න. පොඩි කාලෙ ඉඳලා අපි අහලා තිබ්බට සමහර චරිතවලට අපි හිනා වුණේ ඇයි කියලා ඉඳලා දැන් කල්පනා කරන කොට දුක හිතෙනවා. අම්බලමේ පිනා, ජිම් පප්පා වගේ චරිතවලට මොන්ටිසෝරි කාලෙ ඉඳලාම අපි කළේ හිනා වෙච්ච එක. සිඟිති සාදවල අපි ඒ චරිත වේදිකා උඩට ගේනලා බඩ අල්ලගෙන හිනා වෙලා තියෙනවා. ඒ කියන්නෙ ඒ කාලෙ ඉඳලම අපට ඒ වගේ චරිතවලට හිනා වෙන්න උගන්වලා තියෙනවා.

ඒ වගේ ම චරිතයක් නේද සකලබුජං? ඒ නමට විසුළුකාරී අර්ථයක් ලබා දෙන අපි හිතං ඉන්නවා ඒ අර්ථය ඒ වචනය තුළ ම නිශ්චිතව ම ස්ථිතිකව ම හරයාත්මක වශයෙන් පවතිනවා කියලා. ඒ වචනෙ අර්ථය දරා ගෙන ඊට පිටුපස්සෙන් අපට ‘කොට කලිසම්’ කියලා ඇහෙනවා. ඒක හින්දා අපේ හිත්වල ‘සකලබුජං’ කියන කොට මැවෙන්නෙ ‘කොට කලිසම්’ වර්ගයක් නෙවෙයි ඇඟට ලොකු කොට කලිසමක් ඇඳ ගත්ත පුංචි ළමයෙක්.

ග්‍රාමීය ඉහළ මධ්‍යම පන්තියේ දරුවෙකුගෙ හඬින් ගායනා වෙන මේ සින්දුවෙ කිසිම තැනක මේ සකලබුජං කියන ලොකු කොට කලිසමක් ඇඳ ගත්ත පුංචි ළමයාට මේ සින්දුව ගායනා කරන දරුවාගෙ අනුකම්පාව යොමු වෙන්නෙ නෑ. එයාට දැනෙන්නෙ සකලබුජං ඉන්නෙ එයාගෙ ගෙදර දොරේ වතුපිටිවල වැඩ කරලා  දෙන්න ම කියලා නිකං උපකරණමය උපයෝගිතා වටිනාකමක් විතරයි සකලබුජංට තියෙන්නෙ.

ඒ අතින් ගත්තම ග්‍රාමීය පහළ මධ්‍යම පාන්තික හා දිළිඳු පවුල්වල දරුවන් මෙහෙකාර සේවයට යොදවා ගැනීම ගැන වෙනස් විදියෙ නිර්මාණයක් විදියට මේ සින්දුව හඳුන්වන්න පුළුවන්. මොකද, මේ ගණයේ ගොඩක් නිර්මාණවලදි සකලබුජං වර්ගයේ දරුවන්ට ඒ දරුවන්ටත් අප්පිරියා හිතෙන තරමට අනුකම්පාවක් හිමි වෙනවා. හැබැයි ඒ ව්‍යාජ ජනතාවාදයට වඩා නම් මේ ඇහෙන හඬ අවංකයි කියලා හිතෙනවා.

සකලබුජංට මෙහෙම වුණේ ඇයි? සකලබුජං කොයි තරම් ළාමක ළමයෙක් ද? සකලබුජං කොතරම් වැඩ ප්‍රමාණයක් සිදු කරනවාද? ව‌ගේ ප්‍රශ්නවලට විතරක් නෙමෙයි සකලබුජංගෙන් වැඩ ගන්න සකලබුජංලාගෙ ම ඥාති පවුලක් වෙන්න පුළුවන්. මේ ග්‍රාමීය ඉහළ මධ්‍යම පන්තියේ පවුල කොයි වගේ එකක්ද? වගේ ප්‍රශ්නවලටත් සින්දුව ඇතුළෙ සාහිත්‍යයිකමය පිළිතුරු ලැබෙනවා.

උඩ අහපු හැම ප්‍රශ්නෙකටම ඒ වගේ පිළිතුරු ලැබෙන තැන් උද්ධෘත කරන්න පුළුවන් වුණත් සකලබුජංගෙ ළාමකකමත් එයාගෙ මහන්සියත් ධ්වනිත කරවන කොටසක් විතරක් පහළින් උද්ධෘත කරනවා.

'ගොරවන කොට හරි ම බයයි        කන් වසා ගනියි

ඒත් ගොරව ගොරව රෑට               ඔහු නිදා ගනියි’

හැබැයි මේ සින්දුවෙ මූලික ප්‍රශ්නයක් වෙන්නෙ මූලික මේ සින්දුව ළමා ගීතයක් විදියට නාමකරණය වීම. ළමා සින්දුවකට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් සියල්ල මවගේ මේ සින්දුවෙ තිබ්බට ඒ වගේ සින්දුවක තියෙන්න ඕන  මූලික අගයක් මේ සින්දුවෙ නෑ කියලා අපිට හිතෙනවා.

දරුවන්ට ට්‍රයි නො කර ම තේරුම් ගන්න පුළුවන් භාෂාවක් ඒගොල්ලන්ගෙ හදවත විකසිත කරන්න පුළුවන් රිද්මයක් පුංචි උන්ව නටවන්න පුළුවන් තාලයක් මේ සින්දුවෙ තිබ්බට දරුවාට තමන් ජීවත් වන සමාජ පරිසරය ගැන දියුණු චින්තනයක් මේ සින්දුවෙන් ලබා දෙන්නෙ නෑ.

මේ කියන්නෙ ආයෙත් අර බොරු අනුකම්පාව ගැන නෙමෙයි. සොබාදහමේ විෂමතාව ගැන කියා දෙන විදියට ම සමාජයේ විෂමතාව ගැනත් කියලා දෙන්න ඕන, කියලා දෙන්න පුළුවන්. සකලබුජං වගේ ලොකු කලිසං අඳින පොඩි එකෙක් ඒ වැඩේට ජාති චරිතයක් විදියට භාවිත කරන්න තිබ්බා. ඒක ‘රෝස මලේ නටුවෙ කටු’ කියනවා වගේ කියන්න බෑ තමයි. හැබැයි මේ සින්දුව ඇහෙන විදියටත් ඒ වගේ හැඟීමක් ඇති කරන්න සුදුසුම විදිය කියලා අපිට හිතෙන්නෙ නෑ. ළමා කවි කියන්නෙ නැළවිලි කවිවලට ම නෙමෙයි වුණාට ඒවාට ඒවාට ම අයිති සංයමයක් තියෙන්න ඕන. මේ සින්දුවෙදි අන්න ඒ සංයමය බිඳ වැටෙනවා. ඉතිං අපිට හිතෙන්නෙ සින්දුව අහන අපි වගේ ම නට නට සකලබුජනුත් වැඩ කරනවා ඇති කියලා.

ළමයින්ට කියන සින්දු මෙන්න මේ විදියෙ වෙන්න ඕන කියලා නියමයක් පනවන්න බෑ. ඒ ඒ කාලවල ළමයින්ගෙ විදියත් වෙනස් වෙනවා. අද ලංකාවෙ ඉන්නෙ මහින්ද හාමුදුරුවො එයාගෙ කවියෙන් කතා කරපු ළමයි ටික නෙමෙයි. අඩු තරමෙ අද ලොකු වෙලා ඉන්න අය අතරෙවත් ඒ මහින්ද හාමුදුරුවන්ගෙ ළමයි නෑ. ඒ නිසා සමහර ළමා කවි සින්දු ඇහෙන්නෙ නැතුව යන එක ගැන කලබල විය යුතු නෑ.

සමහර විට ඒ වගේ පරණ කවි-සින්දු අතරින් සමහරක් අපිට පුළුවන් වෙයි මේ අලුත් සන්දර්භයට ගළපන්න, ගළපගන්න, වෙනස් කරන්න, ‘අම්බලමේ පිනා’ ගැන ධර්මසිරි රාජපක්ෂ ලිව්වා වගේ ලියන්න. ඇත්තට ම ‘සකලබුජං කොට කලිසම්’ කියන්නෙත් ඒ විදියට අලුතින් කියන්න ඕන සින්දුවක් කියන එක තමයි අන්තිමට කොච්චර හිතුවත් අපට කල්පනා වෙන්නෙ.

ඒ අතරෙ ඔයගොල්ලො Charlie Chaplin ගෙ Th Kid කියන වීඩියෝ එක යු ටියුබ් එකෙන් සර්ච් කරලා බලන්න.



Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?