ගැමි ජීවිතේ 'මායාව' වෙනුවට ගෙන්දගම් පොළොවේ 'ජීවිතය'...!

 


.- කුසල් ධනංජය කුරුවිටගේ ‘අස්පර්ශනීයන් වෙත’ කාව්‍ය සංග්‍රහය කියවීමක් -

වසංගතය විසින් ගල් ගැස්වූ සමාජය දෛනික ජීවිත අරගල ඉදිරියට ගෙන යා හැකි ආකාර සොයා ගනිමින් තිබේ. ඊට සමගාමීව ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ සිය හෘද ස්පන්දනය නොනවත්වා පවත්වා ගත් සාහිත්‍ය ග්‍රන්ථ දොරට වැඩීම්, සාහිත්‍ය සම්භාෂණ යළිත් අතථ්‍ය අවකාශයෙන් තථ්‍ය අවකාශයට පා තබමින් තිබේ. කෙසේවුවද වසංගත බාධා මධ්‍යයේ පවා, සාහිත්‍ය කෘති කිහිපයක්ම මෙසේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එළි දැක්වූ අතර එසේ එළිදැක්වූ එක් කෘතියක් වූයේ ‘කුසල් ධනංජය කුරුවිට’ගේ ‘අස්පර්ශනීයන් වෙත’ කෘතියයි. මෙය කුසල්ගේ දෙවන කාව්‍ය කෘතිය වන අතර කෘතියේ ඇති සාහිත්‍යමය මුදුන්පත් කරගැනීම හා ප්‍රතිවිරෝධතා යන දෙඅංශයෙන්ම ඇති වැදගත්කම විසින් මෙවර ‘රළ’ කලාපයෙන් කුසල්ගේ කෘතිය පිළිබඳ සටහනක් තැබීමට අප උනන්දු කරවීය. විශේෂයෙන්ම කුසල්‌ගේ කෘතියේ ඇති නාගරික ලෞකික දෘෂ්ටිය (ඊනියා ‘සිංහල කවිය’ට තවමත් නුහුරු) හා කුසල්ගේ අත්දැකීම මෙසේ ‘අගනාගරිකත්වය’ට දක්වන නැමියාව අපගේ උනන්දුව වැඩි වර්ධනය කරන්නක් විය.

නගරයක ගිම්හානයක ඇත්තේ වෙනම ලස්සනක්’ යන ඔහුගේ මේ කවිය බලන්න.

බිම වැටෙන්නේ වියළි තුරුපත් නොව,

කුමක් හෝ වියළි බලාපොරොත්තුවක් ඇති ලියුමක්

......

.....

සාප්පු සංකීර්ණයක සිනාසෙන ගැහැණු මුහුණක්

මිලාධිකම ඇඳුම් ඇඟලූ ගැහැණු ඩමියක්

(69 පිටුව)

මේ නාගරික ජීවිතය කවියා ග්‍රහණය කර ගනුයේ හුදු නගරය පිළිබඳ දෘෂ්ටිවාදී'මායාවක එල්බ ගෙන නොව, එහි සකලවිධ ප්‍රතිවිරෝධතා සමගින් බව අප උපුටා දක්වා ඇති අවසන් පද දෙකෙන් වුව කියවන්නෙකුට පැහැදිලි වනු ඇතැයි සිතමු. එනම්, එම නාගරික ජීවිතය තුළ සිටිනුයේ මානුෂික ස්ත්‍රීන් පිරිමින් නොව, ‘මිලාධික ම ඇඳුම් ඇඟලා ගත් ගැහැණු හා පිරිමි’ වෙති.

මානුෂික ලිංගික ජීවිතය සම්බන්ධයෙන් මේ ලෞකික නාගරික ජීවිතයේ උත්කර්ෂණය මෙන්ම එහි සියුම් පරස්පරතා ද කවියාගේ නිරීක්ෂණයට භාජනය වන හැටි ඔහුගේ කවි දෙකක් ආශ්‍රයෙන් නිරීක්ෂණය කර බලමු.

අත් පිහිනා යයි ඇගේ කෙස් කළඹ යට

සියුම් විදුලි සරක් වැදී'මෙන් ලොමු දැහැ ගැන් වේ.

නග්න දෙපා බිම මත රිද්මයට සලයි ඈ

වැඩි දුර යන්න එපා’ කියමින්

සුන්දර ගමන් දුර බව දනී'ඈ එහෙත්

සිපගත්ම ගෙල ‘ඔහොම ඉන්නවා’

එපමණක් කියද්දී හාදුවකින් වසමි මුව

ඈ සිනා සෙයි විදුලි එළියක් මෙන්

පියයුරු තුඩු මරණීය අවි පාමින්’

(85 පිටුව, නෂ්ටාපේක්ෂා)

මේ එකී'උත්කර්ෂණයයි.

මේ නාගරික ලෞකික ජීවිතය එහි ගෘහ නිර්මාණ ව්‍යුහයේ ඇති පන්ති ස්වභාවයේ සිරගත වී ඇති ආකාරයයි මේ.

සසර බරින් පැක් වුණු ෆ්ලැට් එකේ

පාන්දර පිරිත් හඬින් සින්දර සිහිනය බිඳේ

විසුළ කැබලි නිදි මරගාතේ අහුළන’තර

කුණුහරපයක් කිය වේ

දුස්ස්වප්න යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ

මරණ බයෙන් පිරිවුන් අතර

මරණය නොබිය ගැහැණියක හඬ ඇසෙයි

තව හයියෙන් මරන්න’

(51 පිටුව - නිර්භීත ගැහැණියක්)

මෙසේ ග්‍රාමීය ඇල්මැරුණු ලෞකික ජීවිතය වෙනුවට නාගරික ලෞක්ක ජීවිය උත්කර්ෂණය කවියා ග්‍රහණය කරගනුයේ සමාජීය, පාන්තික සීමාකරණයන්ද, එකී සීමා මායිම් ඉක්මවා යාමෙන් මානුෂික අභිලාෂය හා ලාලසාව ද සමගිනි.

ශිෂ්ටාචාරයේ  නූතනත්වයේ නිෂ්පාදනයක් වූ මෙකී ලෞකික නගර හා ‘වර්තමාන ගෝඨාභය නගරය’ අතර වෙනස කවියා සටහන් කරන ආකාරය,'පහත කවියෙන් බලන්න.

සුසානය අලංකෘත කළ උද්‍යානයක් මෙන

මං තීරු ඉදි කර අඳුරු මූසල ගතිය දුරු කළ

මාසෙ පඩියේ අවසන් කටයුතු කර

මැලවුණු මුහුණින් බිම බලා ගෙන ගෙදර එන

නුවරුනි, නිසළ අරණක්ය සුසානය ආණ්ඩුව නුඹ වෙනුවෙන්ම නිම කළ

(පිටුව 71, නගර සැලසුම)

නූතන නගර සැලැස්මේ පදනම’ නිදහස් ලෞකික ජීවිතය නම්, ගෝඨාභය නගර සැලැස්මේ පදනම මර්දනය හා ලෞකික විරෝධීභාවයයි. ඒ තුළ නාගරික ලෞකික ජිවිතය සුසානයක චාම්භාවයට පත් කෙරේ. ඒ වෙනුවට සුසාන භූමි ‘මල් වතු සේ’ අලංකරණය වේ. මේ, විපරීත ග්‍රහණය කර ගැනීමේදී'කවියා සිය කිය දේශපාලන දෘෂ්ටියෙන් මෙන්ම කාව්‍ය අලංකරණයෙන් එහි උස් මුදුන් ස්පර්ශ කරනු නිරීක්ෂණය කළ හැක.

සාම්ප්‍රදායික කාව්‍යකරණයේ යෙදෙන ඊනියා ‘පුද්ගල අත්දැකීම්, සමාජයීය අත්දැකීම් බවට පත් කිරීම’ වැනි ඌනිත සංකල්ප කුසල්ගේ කාව්‍ය ව්‍යාපරය තුළද හොල්මන් කිරීමෙන් කවියා සිය දියුණු නාගරික දෘෂ්ටිය කඩතොලු කරගත් අවස්ථා ද නැතුවා නොවේ.

කවුද හාදයෙක් එතකොට

පිස්සුවෙන් වගේ මතුරනවා ඇසී'බිය වුණා මම.

ඔහු දෙඩු එක වචනයක්

මට හෙඳටම මතකය.

Dangerous

(පිටුව 82, මයිකල් ජැක්සන්ට)

තුවක්කු කට, මුනි වත රකින ඔහුත් නිදි තිබෙද්දිම මුව විවර

කාට හෝ ආලය කළ හද අසළ

උණ්ඩය සපා කෑ තැන ගැඹුර’

(98 පිටුව - සැඳෑ නිද්‍රාව)

අත්දැකීමෙන් දෘෂ්ටිය විතැන් කරන ‘සැඳෑ නිද්‍රාව’ කවියේ එන මේ සාම්ප්‍රදායික ඇකඩමික ප්‍රවේශය වෙනුවට කවිය පිළිබඳ සිදුකරන බරපතළ හැදෑරීමකින් අපට දැක ගත හැකි කාරණයක් නම්, අත්දැකීම යනු දෘෂ්ටිය ඔස්සේම ලබන්නක්ම මිස දෘෂ්ටිය කවියට බලෙන් කාවැද්දීමක් නොවන බවයි. එබැවින් කවියෙකුට, සිය ‘පෞද්ගලික ජීවිතයේ’ හො ‘ළමා කාලයේ’ ලද ‘ශුද්ධ අත්දැකීම’'වෙත යළි එළඹිය නොහැක්කේමය. එසේ එළඹීමට උත්සාහ කරන අවස්ථාවේදී කුසල්ගේ කවිය ද අසමත් වන බව අපට නිරීක්ෂණය කළ හැකිය. එවිට කුසල්ගේ කවියේ උපමා, රූපක බලෙන් එල්ලු බවක් නිරීක්ෂණය කළ'හැකිය.

උණ්ඩය සපා කෑ තැන ගැඹුර’

පොදුවේ කුසල්ගේ කවිය තුළ ‘දීර්ඝ පාද කවි’ කලාත්මක කූටප්‍රාප්තීන් වෙත ළඟාවන අතර ‘කෙටි පාද කවි’ එතරම්ම කලාත්මක කූටප්‍රාප්තිය වෙත ළඟා නොවීම නිරීක්ෂණය කළ හැක. මෙය, කුසල්ගේ කවිය මතු නොව, නූතන සිංහල කාව්‍ය ව්‍යාපාරයේම ‘කෙටි’ කවියේ ඇති ගැටලුවක් ලෙස නිරීක්ෂණය කළ හැකිය.

මෙම දෝෂ සහගත ප්‍රවණතා, දකින දෙය වෙනස් විධියකට කීම කවිය යැයි වරදවා වටහා ගැනීමේ ප්‍රතිඵලයකි.

කවිය පිළිබඳ උක්ත දෘෂ්ටිවාදයේ බලපෑමට හසු වූ'කවි කිහිපයක්ම කුසල්ගේ කෘතිය තුළ නිරීක්ෂණය කළ හැක.

තුසර පිණි

නිදි නැතිව පහර දෙයි

මැදියමට’

(34 පිටුව)

 

වැරෙන්ඩාවේ රාත්‍රිය විඳිමින්

හෙට පාන්දරින්

ගමනක් යායුතු

කලිසමයි කමිසෙකුයි’

(පිටුව 24)

මේවා යථාවට ආදේශක සොයා ගැනීම් මිස, යථාර්ථය ජයග්‍රහණය කිරීමේ විපර්යාසකාරී භාවිතයන් නොවේ. සාපේක්ෂව කුසල්ගේ දීර්ඝ පාද කවි යථාවේ මෙකී'දෘෂ්‍යමානය විනිවිද එහි ගැඹුර ස්පර්ශ කිරීමට සමත්වනු දැකිය හැකිය.

මතකයේ සුන් බුන් ඇහිඳ ගෙන

බෝඩිමෙන් පිටවෙනා දිනයක

සිහින ඇතිරූ ගමන් මලුවල

ඉඩක් තිබුණා නම් ඔබේ

රැගෙන යනවා මේ වෘතාන්තය

 

අවුල් කෙස් කමිස කලිසම හැඳ

නවාතැන අස කොට්ටම්බ ගස යට

හමුවෙච්ච අපිළිවෙළ පෙම්වතා මම

සුරා බී කොළරාව සේ

පෙර මතක වැමෑරූ පෙම්වතා මම’

(පිටුව 56)

 

‘.......

යන එන ගමන් කීයක් හරි ඉල්ලුවත් ඒ විහිලුවට

විහිලුවටවත් සතයක්වත් දෙන්න බැරි වුණා මට

බාප්පේ උපාධිධාරියෙක් මං  විරැකියාවේ වෙළුන

 

ගෙදර උන් අඬනවා මං  මොනව කියන්නද තව

උන් අඬන්නේ බයට,  හෙට ඉඳන් ජීවත් වෙන එකට

.......’

(පේන්ට් බාසුන්නැහේ නොහොත් බාප්පාගේ මළගෙදර පිටුව )

කෙසේවුවද අප කලින්ද සඳහන් කළ පරිදි කුසල්ගේ කවිය පිළිබඳ අප තුළ වන උනන්දුව, නාගරික ජීවිතයේ අත්දැකීම් වෙත ඔහු දක්වන නැමියාව හා සම්බන්ධය. එහෙත්, ඒ උනන්දුව කිසිවිටක නගරය පිළිබඳ දෘෂ්ටිවාද ගොඩ නැගීමක් නොව, නගරය එහි සියලු පරස්පරතාවන්ගෙන් වටහා ගැනීම නිසාවෙනි. එය ගතානුගතික සිංහල කවිය තුළ එන ගම තොරෙම්බල් කිරීමේ සම්ප්‍රදායට එරෙහිව, නගරය එහි සියලු පරස්පරතාවන්ගෙන් හෙළිදරව් කරගැනීමකි. කුසල්ගේ කවියේ කලාත්මකය නිර්ණය වනුයේ මෙම දේශපාලනිකයෙනි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?