ව්‍යාජ ජනතාවාදයෙන් මිදුණු සැබෑ විප‍්‍රවාසී කවියක් - "නිමා වූ ඍතුවක ශේෂ පත‍්‍ර"



මාලන් සැබෑ සැබෑ විප‍්‍රවාසී කවියකු වී ඇත. ඔහුගේ ‘නිමා වූ ඍතුවක ශේෂපත‍්‍ර’ නමැති නවතම කාව්‍ය සංග‍්‍රහය මගින් විශද වන ඒ අවංකත්වය ප‍්‍රථමයෙන් ම අගය කළ යුතුව ඇත. ස්වකීය මධ්‍යම පාන්තික කුටුම්භ සංස්ථාව රැුක ගැනුමට විදෙස්ගත ව මෙරට පීඩිතයන් පිළිබඳ ලියන ව්‍යාජ මානවවාදී කාව්‍යයන්ට සාපේක්ෂව මාලන්ගේ කවිය අවංක ය. අතීතකාමයෙන් මිදිය නො හැකි වන අවස්ථා කිහිපයක දී හැර ඔහු ලංකාවේ ඔහු හැර දමා පැමිණි චරිත, පරිසරය පවා තම කාව්‍ය වෙත කැඳවන්නේ නැත. මා එය දකින්නේ ඉදිරිගාමී පියවරක් ලෙස ය. සැබැවින් ම කවියෙකුට ජාතික රාජ්‍යයක් අවශ්‍ය නො වන බව මාලන් අපට පවසනු වැනි ය.

ලාංකික පරිසරය ඇසුරු කරමින් ඔහු අතින් ලියැවෙන කාව්‍යයන්හි පවා අපට හමු වනුයේ තමන්ගේ අතීතකාමය සමග ගැටෙන කවියෙකි. විටෙක අතීත කාමයෙන් මිදීමට ඔහු අසමත් වුව ද තැනක ඒ සමග පොරබදන කවියෙකු මේ කාව්‍ය සංග‍්‍රහයෙන් මතු වෙයි. ‘සෝමාවතී වන්දනය’ හා ‘වියළි වැව් පිටිය මැද සිහිනය’ බඳු කාව්‍ය නිර්මාණ ඉක්මවා ‘පිරිත් හඬ’, ‘සඳ සහ මහද්වීපයක තනිය’ බඳු කවක් ළඟ මගේ පය පැකිළෙන්නේ එනිසා බව මට දැනෙයි.

‘ඒ මතක දෝතින් ම ගෙන

සිඹ

සඳ වතුර යට අතුරා

යළි පිය නගමි කුටියට’

- (පිටුව.33)

ලාංකේය කවියෙහි මෙන් ම ගීතයෙහි ද දක්නට ලැබෙන අතිශය ‘අශිෂ්ට ව්‍යාපෘතියක්’ වන ‘මව’ උත්කෘෂ්ටත්වයට නංවා ඇය සාම්ප‍්‍රදායික කුටුම්බය නමැති සිරගෙදර සිර කිරීමේ ක‍්‍රියාවලියට මාලන් පොහොර නො දමයි. ‘මව’ පිළිබඳ මේ කවෙහි දී කිසිදු තැනක වාචිකව සඳහන් නො කරන කවියා ‘මව’ ඉල්ලමින් හඬා වැටෙන කවියකු බවට පත් නොවේ. එසේ නො වන කවියෙකුට නම් කිසිදු දින පහත ගණයේ කවියක් ලිවීමට හැකි නො වේ.

මත් මතක ගිජිදු

තිමදගලිත ව

යටගියාවෙන් පැන

මා වෙත එන

සැඬ මත් ගිජිඳෙකි


කුංචනාදයෙන්

කම්පා කරවමින් හාත්පස

සොඬ අඹරවා ගසමින්

සිවු පතුල් ගටා

පොළොව දෙදරවා ගෙන

ළං වෙයි


සත් මුහුදු

දෙබෑ කොට එයි

කලාවකාශ බිඳ

ඉර හඳ සසල කොට

වාත වේගයෙන් එයි


පැමිණ මා සමීපයෙ

සොඬ නවා

නඟුට හකුලා

දණ නමයි

ඒ මත් ගිජිඳු

- (පිටුව.31)

සිරි ගුනසිංහ, මතකය වස්තුවක් බව පැවසුව ද ඒ ඉදිරියේ මැවෙනුයේ වලසෙකුට ගොදුරු වී ලේ ගලන කථකයෙකි. එහෙත් මාලන් ප‍්‍රතීත කරනුයේ ‘මතකය’ නමැති සැඩ මත් හස්තියා පවා දමනය කරන උත්තම පුරුෂ කථකයෙකි. හස්තියාගේ ස්වරූපය පිළිබඳ නාලාගිරිමය වර්ණනයක් සිදු කළ ද ඌ දමනය කරනුයේ කවියා ම මිස බුදුන් නො වන බව පැහැදිලි ය. සැබෑ ප‍්‍රති ලිවීම (Re-Writing) යනු මෙබඳු ලිවීමක් නො වේ ද ?

ආරියවංශ රණවීර මෙන් ම මාලන් ද භෞතික වස්තු ඇසුරින් දාර්ශනික යථාර්ථයන් මතු කර ගැනීමට වෙර දරනු පෙනේ. එහෙත් රණවීර බොහෝ විට අභිරුචියෙන් හැසිරෙන විශ්වීය යථාර්ථයන් පිළිබඳ දාර්ශනික සත්තාවන් පමණක් නොව ශිෂ්ටාචාරමය, සංස්කෘතිකමය අර්බුද පිළිබඳ දෛනිකත්වය ඉක්මවා ගිය පොදු අර්ථයන් ද එක ම කවියක කැටි කිරීමට මාලන් උනන්දු වෙයි. ‘බොන්සායි නුග තුරක යටි සිත’, ‘මකුණෝ’ හා ‘සුදු හදක රැුස්’ බඳු කාව්‍ය නිර්මාණ මීට නිදසුන් ලෙස දිසේ.

මේ අතරින් ‘සුදු හදක රැුස්’ බඳු කවියක් ‘විවිධත්වය’ පිළිබඳ දාර්ශනික සංකථනයකට දොරටු විවර කරන අතරේ ම නිශ්චිත ශිෂ්ටාචාරමය ගැටලූවක් වෙත අපගේ අවධානය යොමු කරවයි. එනම් වර්ගවාදය, වර්ණභේදවාදය, භාෂා භේදය හා ජාතිවාදය යි. මේ කවෙහි එන ‘හුරුපුරුදු කලූ පැහැති නුහුරු බසකින් තෙපළන කාකයා’ අපට අපගේම වර්ගවාදී ඉතිහාසය සිහිපත් කර දෙයි. අපට නො තේරුණු නමුදු කාකයා ද ඒ පවසා ඇත්තේ කවියක් විය නො හැකිද ? ‘වෙඞ්ඩා’ගේ කවියක් ඈත සිට ඉගිළ එයි.

‘එය කවියකි

එහෙත් ඒ දෙමළෙනි

සිහලූන්ට නොතේරෙන්නේ

එබැවිනි’

-මංජුල වෙඩිවර්ධන

(මම ලිඟුමාල නම් වෙමි*

ජාතිවාදය, සිහළුන්ට හා දෙමළුන්ට පමණක් පටු නො කරන මාලන් ධනවාදයට පවා සම්පූර්ණයෙන් විසඳිය නො හැකි වූ ජාතිවාදයේ අර්බුදය පිළිබඳ පොදු චිත‍්‍රයක් අඳියි.

හාත්පස පටු ලොවට නෑසෙන

නො වැටහෙන ඔබේ බස

වචනයෙන් එපිට ඇති

කවියක් ද

- (පිටුව.18*

ඇතැම්හු ‘සිංහල-බෞද්ධ ජාතිකවාදය’ කෙරෙහි විවේචනශීලි වුවද බටහිර යුරෝපයේ හා අමෙරිකාවෙහි ක‍්‍රියාත්මක වන අශිෂ්ට ජාතිකවාදී ව්‍යාපෘති හඳුනා නො ගනිති, සිතා මතා මඟ හරිති. එහෙත් මාලන් විප‍්‍රවාසියෙකු ව සිටිමින් තමන් අත්දකින සුදු ජාතික ගෝත‍්‍රවාදය ගැන කදිම කවියක් රචනා කරයි. සැඟවී සිට සැණින් පහර දෙන  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ‘මැග්පයි’ නම් පක්ෂියා නිමිතිකර ගනිමින් ඔහු මේ පවසනුයේ උක්ත අප සංවාදයට බඳුන් කළ ‘සුදු හදක රැුස්’ නමැති කවෙහි ආ ‘කාකයා’ බවට තමන් පත් වී ඇති ආකාරය යි.

සුදු රටට කලූ සමක් බර වැඩි ද

තොප සිරුර වුණත් කලූ සුදු නේද

ඔබ උපන් මහාද්වීපයයි මේ

මෙහි තනන්නට හැකි ද කොදෙව්වක්

- (පිටුව. 37)

එහෙත් මේ භෞතික වස්තු ඇසුරෙහි ම කාව්‍යමය ලෝකය ගොඩනඟන්නට යන විට කවියා ප‍්‍රධාන වශයෙන් අර්බුද දෙකකට මුහුණ දෙන බව පෙනේ.

01. සොබාදහම ගුප්තකරණයට ලක් කිරීම.

02. වස්තූන්ගේ වන සුලභත්වය අභිභවනය කිරීමට අසමත් වීම.

සොබාදහමට ‘මාතෘත්වය’ හා ‘පීතෘත්වය’ ආරෝපණය කරන මොහොතේ සිට ම එය ගුප්තකරණයට ලක් වීම නිතැතින් ම සිදු වේ. එය මනුෂ්‍යයාට පිටතින් පවතින දෙවියකු වැනි යමක් නොව මනුෂ්‍ය ක‍්‍රියාකාරීත්වය ද අයත් සාමාන්‍ය ලෝකය ම බව අවබෝධ කර ගැනීමට අවශ්‍ය තරම් දැනුම වර්තමානයේ බිහි ව තිබුණ ද මාලන් සොබාදහම තමන්ගෙන් බැහැර ඇති ‘විශිෂ්ටත්වයක්’ ලෙස දකී. ‘මීදුම මැද කවිය’ හා ‘සැඳෑ විල් තෙරක දී’ බඳු කාව්‍ය මීට නිදසුන් ය.

මාලන් මනුෂ්‍ය ජීවිතය හා සමාජය සම්බන්ධයෙන් සිය බලාපොරොත්තු අත්හැරීමට සූදානම් නොමැති බව කාව්‍ය රචනා ගණනාවකින් ම ශපථ කර කියා සිටී. ‘පතොක් මල්’, ‘යෝධයා අබිමුව’ සහ ‘මා පැතූ නැවතුම’ බඳු කාව්‍ය රචනා මගින් දෘශ්‍යමාන වනුයේ ප‍්‍රකෘතිය සමඟ ගැටුමෙන් යුතු කවියෙකි.

මේ අතරින් ‘මා පැතූ නැවතුම’ නම් කවෙහි සහෘදයාට මුණ ගැසෙනුයේ මිනිස් වාසයෙන් බොහෝ දුර තමන් පැතූ ලෙස තම නැවතුම තනාගත් කථකයෙකි. එහෙත් ඔහු කොළඹ තරුණ කවියෙහි දී අපට හමු වන මනුෂ්‍යත්වයට නින්දා කරන වර්ගයේ රොමෑන්තිකයෙක් නො වේ. මිනිස් වාසයෙන් බොහෝ දුර සිය වාසස්ථානය ඉදිකර ගත් මේ කථකයාට ඉන්පසුව සිදු වන්නේ කුමක්ද ?

‘මෙහි එන මඟ දිගට

තියුණු කටු පඳුරු ය දිග් දිගට

මා පෙර ගෙවා ගිය මාවත්

අඟවනා සැමරුම් ඒ

ඉවසා සෙමෙන් එනු මැන

මිතුරනි’

-(පිටුව.64)

‘ඇල්මක් නොමැති වනචර හා තද කුහක’ මිනිස්සුන්ගෙන් මිදී, ‘බොල් ගති පිරුණු මිනිස්සුන්ගෙන් ඉවත් වී’, ‘මළ පසු ගඟක ඉල්පෙන්නට ගිලෙන්නට හැකි වන පරිදි ගසක, මලක මල් පෙත්තක් වී ඉපදෙන්නට’ ප‍්‍රාර්ථනා කරනු වෙනුවට මිනිසුන්ගෙන් දුර ඇත නිවස්නයක් තනා ගත් මේ මිනිසා නැවතත් ආරාධනා කරනුයේ මිනිසුන්ට ම ය. සිහිපත් කරනුයේ ‘කෙට්ටු අතක්’ පිළිබඳව ය.

භෞතික වස්තු ඇසුරු කරමින් ද මානවීයත්වය මතුකර ගැනීමට කවියා සමත් වන නමුත් මානව වස්තුව ඇසුරින් ම මානවීයත්වය මතු වන අවස්ථාවන්හි දී මාලන්ගේ කවිය වඩා ආලෝකවත් ය. ‘සැන්දෑව’, ‘කජු බදින්නා හා බැතිමතා’, ‘තනිව’ හා ‘හඬට එරෙහිව’ බඳු නිර්මාණ මීට නිදසුන් නිමැවුම් ය.

වියපත්වීම, හුදෙකලා වීම පිළිබඳ විලාප දෙන කවියක් වෙනුවට මාලන් ගොඩනඟනුයේ මනුෂ්‍යත්වය සම්බන්ධ සුබවාදී කවියකි. මිනිස් සබඳතා සම්බන්ධයෙන් ඔහුට වනුයේ සුබවාදී ආකල්පයකි. ඔහුගේ කවියේ මහලූ වූ මිනිසුන් සිය වියපත් බව පිළිබඳ දිගු සුසුම් හෙළුව ද සැහැල්ලූව සිනාසෙයි, කඩිනමින් ඇවිදියි. තනි වූ මිනිසුන්, තමන් තනි කර ගිය මිනිස්සුන්ට, ගැහැනුන්ට දොස් නො පවරයි. තමන්ට ද දොස් පවරා නො ගනියි. ජීවිතය කන්කෙඳිරියක් බවට පත් කර නො ගත් මිනිසුන්ගෙන් ඔහුගේ කවිය පිරී තිබේ.

තනිව

දොර හරිමි

සැඳෑවට

විඩාවෙන් පීඩිත සිතින්


තැන තැන තව ම

ළතවනා වැනි

අඩක් හිස් කළ

තේ කහට බඳුන්


ගැටී බිඳුණු

මැටි වළන්වල

පිරී ගිය පිරී ගිය හිස්කම


පුස් පුසුඹ ගෙන

ගෙතුළ තනිකම

තනිව ඇවිදියි


නිල් දිගු මුහුලසක ගැවසී

මේ දැන් ඇද වැටුණු වැනි

පස් පෙති සුදු මලක්

ඉදිරි දොර වෙතින් ගෙතුළට

ඉඳහිට

ඇතුළු වෙයි.

-(පිටුව.26)

මාලන් මුහුණ දෙන අනෙක් අර්බුදය ලෙස අප ඉහතින් දක්වා ඇත්තේ වස්තූන්ගේ වන සුලභත්වය අභිභවනය කිරීමට අසමත් වීම ය. එය භෞතික වස්තූන් විෂයෙහි පමණටත් වඩා එල්ඹ ගන්නා  ඕනෑ ම කවියෙකුට විය හැක්කක් බව විචාරක ලියනගේ අමරකීර්ති පෙන්වා දෙනුයේ පහත පරිදි ය.

”අනෙක් අතට මෙවැනි කවි බහුලව ලියන විට කවියා හැරෙන්නේ කුමකට දැ යි රසිකයාට කලින් ම දැක ගන්නට ලැබේ. කවියාගේ ‘සූස්කට්ටකම’ රසිකයාට පෙර දැකිය හැකි වෙයි. ඒ ගැන අනාවැකි කිව හැකි වෙයි. එවිට රසිකයාට චමත්කාරාත්මක විස්මයක් දැනවීමට කවියා අසමත් වෙයි. අනපේක්ෂිත ආනන්දයක් විඳීමේ අවස්ථාව රසිකයාට අහිමි වෙයි.”

-පහන හා කැඩපත

-පිටුව. (208)

‘හැකිළුව කුඩය’, ‘ගති සොබා’, ‘මේපල් තුර’, ‘වේයෝ’ බඳු නිර්මාණයන්හි දී මාලන්ට සිදු වන්නේ එය යි. තමන්ගෙන් පරිබාහිර ලෝකය විෂයෙහි මිනිස්මය මැදිහත්වීමක් සිදු කරමින් රසිකයා පුදුමයට පත් කිරීමට ඒවායෙහි දී මාලන් අසමත් වේ. අමරකීර්ති සඳහන් කරන ‘චමත්කාරාත්මක විස්මය’ ඇති කළ හැකි වන්නේ වන්නේ මෙබඳු ‘මැදිහත් වීමක්’ කවියා කෙරෙන් සිදු වුවහොත් පමණි. භෞතික ලෝකය එලෙසින් ම සදෘශ්‍ය කිරීමට හෝ අප මේ වන විටත් දන්නා සත්‍යයන් ප‍්‍රතිවාදනය කිරීමට යොමු වීමෙන් එම අනපේක්ෂිත ආනන්දය හෝ ප‍්‍රඥාව ඇති කළ හැකි නො වේ.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?