හාදුවක්!
ගායනය - සමනලී ෆොන්සේකා
සංගීතය - අරුණ ගුණවර්ධන
පද - සුජීව හෙට්ටිතන්ත‍්‍රී
මේ සින්දුව ගැන ලියන්න තීරණය කරන වෙලාව වෙනකොටත් යූ නාලිකාවෙ මේ සින්දුව බලපු ගණන 100K (ලක්ෂයක්) පසුකරලා. ඒ තරම් ප‍්‍රමාණයක් මේ සින්දුව බලන්න එක හේතුවක් සමනලී වෙන්න පුළුවන්. අනෙක් හේතුව වීඩියෝ ඒකේ තියෙන රූපෙ වෙන්නත් පුළුවන්. ලොකුම හේතුව ඔය කිව්ව දෙවන හේතුව වෙන්නත් පුළුවන්.
ඒ රූපෙ තියෙන්නෙ ‘කිස්’ එකක්. ක්ෂේවියර් කණිෂ්ක, සමනලී ෆොන්සේකාට දෙන ‘කිස්’ එකක්. ලංකාවෙ මිනස්සුන්ගෙ මේ ලිංගික හීනමානයෙන් වැඩිපුරම වැඩ ගත්තෙ ඉරාජ්. සින්දු ඇතුළෙ විවේචනයට ලක් වෙන මේ කරුණම සින්දුව මේ තරම් ජනප‍්‍රිය වෙන්න හේතුව වෙච්ච ඒකේ තියෙන්නෙ බරපතළ උත්ප‍්‍රාසයක්. සින්දුව ගැන ලියන එක අත ඇරලා ඒ ගැන ලියන්නත් හිතෙනවා.
සමනලී ගයන මේ අලූත් සින්දුව අපිට නම් කරන්න පුළුවන් නූතන සින්දුවක් කියලා. ඒ්ත් ඒක නූතන වෙන්නෙ මේ වගේ සමාජයක විතරයි. ඒ කියන්නෙ සින්දුව නූතන වෙලා තියෙන්නෙ අපි ඉන්නෙ පුරාතන සමාජයක නිසා. බටහිර යුරෝපෙ වැඩවසම් යුගයේ නම් මේ වගේ සින්දුවක් කියලා වැඩක් නෑ. මේ සින්දුවෙන් අහන කිසිම ප‍්‍රශ්නයක් එහෙ ප‍්‍රශ්නයක් නෙවෙයි.
අපි ඒ ප‍්‍රශ්න ටික මෙන්න මේ විදියට සංක්ෂිප්ත කරනවා.
1. මහජන පරිශ‍්‍රයේ ‘කිස්’ එකක් දෙන්නෙ කවදාද?
2 තුරුළු වී සිටීමට සැගවුණු ‘රූම්’ සොයා යා යුතුද?
3. විවාහයට පෙර ‘සෙක්ස්’ කරන්න බැරිද?
තවමත් මේ ප‍්‍රශ්න සින්දුවකින් අහන්න සිදුවීමෙන් පෙනෙන්නෙ වෙන මොකවත් නෙවෙයි. අපේ සංස්කෘතික දුප්පත්කම. සමහර විට සමහර අයට පෙනෙන්න පුළුවන් ඒක අපේ සංස්කෘතික විශිෂ්ටත්වය කියලත්. විශේෂයෙන්ම සිංහල බෞද්ධ විතරක් නෙවෙයි, මෙහ ඕනෑම ජාතික-ආගමික මතවාදයකට අනුව බැලූවත් ඉහත කියලා තියෙන දේවල් සාපරාධී අපරාධයකට තමයි වැටෙන්නෙ. ලංකාවෙ ක‍්‍රිස්තියානියෙත් ඒ හැටි කියලා වෙනසක් නෑ.
ඒ අර්ථයෙන් මේ සින්දුව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වුණාට මේ වගේ කිසියම් ජාතියකට, ප‍්‍රදේශයකට සීමා විය හැකි සංස්කෘතිකමය, ශිෂ්ටාචාරමය ගැටලූ සංවාදයට ලක් නොකළ යුතුද? මේ ගීතයේ නිර්මාපකයින් මේ කරන්නේ අන්න එහෙම දෙයක්. තමන්ගෙ සංස්කෘතියෙ පවත්නා බොරු වළවල් හඳුනා ගන්න එකත් ඒවා සෞන්දර්ය-සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමත් සාහිත්‍ය කලාකරුවා මත පතිත වී ඇති වගකීමක්.
මිනිස් ශරීරය සම්බන්ධයෙන් අප සතුවන වැඩවසම් ආගමික දෘෂ්ටිවාද අභියෝගයට ලක් කිරීම අතිශය සංස්කෘතික මෙන්ම නූතන ක‍්‍රියාවක්. මෙතනදි අපට මතක් වෙන්නෙ යුස්ටයින් ගාඩර් ලියූ A Letter to St. Augustine (කෙටි දිවියක මතක කුසුමකින් උපන් හසුනක්. - පරිවර්තනය සසංක පෙරේරා) කියන පොත. ඒ පොතේ තියෙන්නෙ සාන්ත ඔගස්තීනු බ‍්‍රහ්මචාරී වෙන්න ඉස්සර ඔහුට පේ‍්‍රම කරපු ඔහුත් එක්ක ජීවත් වුණු ෆ්ලෝරියා කියන පරිකල්පිත ස්ත‍්‍රියගේ විවේචන. ඇය ඒ විවේචනවලින් අගෝස්තීනු කියන පූජකයට ලියුමක් විදියට දමලා ගහනවා.
ෆ්ලෝරියා එක තැනකදි අගොස්තීන් ( ඕරල්* මිනිස් ශරීරය සම්බන්ධයෙන් දරණ ආගමික ශුද්ධෝත්තමවාදී අදහස් විවේචනය කරන්නෙ මෙහෙම.
”මනුස්සයෙක් වුණාම ඕරල්, අපි හැමෝම ආහාර ගන්න ඕනැ. අනික් කාරණය තමයි ඒ කන කෑම රස විඳින්න අපි හැමෝටම අවසර තියෙනවා. ඇත්තටම මේ කියන විදියට ඔයා දැන් නාන ඒකත් අතෑරලා දාලා නෑ නේද? අලංකාර මලක් දැක්කම ඒක ටිකක් ඉඹලා බලන්න ඔයාටත් අවසර තියෙනවා. ඔයා දැන් මේ ඔක්කොම දකින්නෙ ‘සිරුරෙ හටගත් ආශාවන්’ හැටියට විතරයි. ඇත්තටම මේ වගේ දේවල් ඔලූවට එනවට ඔයා ඔයා ගැනම ලැජ්ජ වෙන්න ඕනෑ” (පිටුව 35)
අගොස්තීනු ගැන ෆ්ලෝරියා ගෙන් විවේචන විදියට ලියැවුණාට මේ තියෙන්නෙ සම්පූර්ණ පල්ලිය කියන ආයතනය, භාවිතය හා විශ්වාස පද්ධතිය සම්බන්ධයෙන් යූස්ටයින් ගාඩර්ගෙ විවේචනය. ඒ තරම් සැරට නැති වුණත් අපි කතා කරන සින්දුවෙ පදවලත් තියෙන්නෙ ඒ විවේචනය. ඒ නිසා අපට කියන්න පුළුවන් මේ සින්දුවෙන් අහන්නෙ සම්පූර්ණ ‘ජාතියෙන්ම’ අහන්න ඕන ප‍්‍රශ්න ටිකක් කියලා.
එකම මිනිස් සිරුරෙ එක අවයවයකට නැති වටිනාකමක් හෝ ගර්හාවක් වෙනත් අවයවයකට ලබා දුන්නෙ කවුරුන්ද? ඒ දෙවියන් විය නොහැකිය. වික්ටෝරියානු සුචරිතවාදය, යටත්විජිත ආචීර්ණ කල්පික සංස්කෘතිය එක්ක කළවම් වීමේ ප‍්‍රතිඵලය විදියට අපිට ඒක තේරුම් ගන්න පුලූවන්.
ඉතින් ඒ විදියට බැලූවම මේ ලියලා තියෙන්නෙ ඇත්තටම සින්දුව ගැන නෙවෙයි. සින්දුව මේ තරම් ජනප‍්‍රිය වීමට හේතු වෙච්ච අපේ ලිංගික හීනමානය සහ සංස්කෘතික දුප්පත්කම ගැන ගැන නොලියා මේ සින්දුව ගැන මොනවා ලිව්වත් වැඩක් නෑ.
හැබැයි අන්තිමට මෙන්න මෙහෙම දෙයක් නම් ලියන්නම වෙනවා. මේ සින්දුවෙන් මතු කරන ඒ තේමාත්මක නූතනත්වයට නම් සමනලීගෙ කටහඬ ගැළපෙන්නෙ නෑ. ඒ කටහඬින් ඇහෙන නන්දා මාලිනි ගනයේ හඬ වෙනුවට උමාරියා පන්නයේ නාගරික නූතන හඬක් ඉල්ලා සිටින බව අපිට හිතෙනවා.
Comments
Post a Comment