ගෙදර වට සිතියම - ලියනගේ අමරකීර්ති


කතා කීම ඉපැරණි වූද අර්ථවත්වූවද මනුෂ්‍ය ක‍්‍රියාවක් බව සැබෑය. නවකතාව, කෙටිකතාව, මතු නොව, නාට්‍ය, කාව්‍යාදී වෙනත් සාහිත්‍යංග සඳහා බොහෝ විට කතාවක් (Story) පදනම්වන බවද සත්‍යය. ඒහෙත් තවදුරටත් නවකතාව හෝ කෙටිකතාව යනු හුදු කතන්දරයක් පමණක් නොවේ. එකට ගලපා ඇති සිද්ධි මාලාවක් තිබු පමණින් අප එයට කතාවක් හෝ කෙටිකතාවක් ලෙස පැවසිය යුතු නැති. එය සිංහල කෙටිකතා කලාවට අදාලව මාටින් වික‍්‍රමසිංහ යුගයේදීම ඉක්මවා යන දැනුමකි. 

තමා අවට ඇති ලෝකය සමඟ සම්බන්ධ වීමේදී මිනිසා සිය මනුෂ්‍යත්වය සනිටුහන් කිරීමේ පැරණිම ආකෘතියක් ලෙස කතාව ගත හැකි නමුදු සාහිත්‍ය බිහිකර ගැනීමේදි මිනිසා එයිනුත් ඉදිරියට යාමට සමත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද දවසේ කෙටිකතාකරුවා, කතාව භාවිත කරනුයේ පාඨකයා ප‍්‍රබන්ධ ලෝකය වෙත කැඳවන උපක‍්‍රමයක් ලෙසය. එමගින් පාඨකයා වෙත මනුෂ්‍යත්වය, ජීවිතය හා සමාජය පිළීබඳ නව තේමාවන් හා අන්තර්දෘෂ්ටීන් ඉදිරිපත් කිරීමට ඔහු උත්සාහ දරයි.

ලියනගේ අමරකීර්ති කිසිසේත්ම මේ පිළිබඳ අවධානයකින් තොරව ලේඛනයේ යෙදෙන කටිකතාකරුවකු නොවේ. එහෙත් දැන් දැන් ඔහුගේ කෙටිකතාවන්හි කතා රසයට ලැබෙන ස්ථානය අනෙක් අංග යටපත් කරමින් නැගී සිටින බවක් දක්නට ලැබේ. එය ‘අර මිහිරි සීනු නාදය’ බඳු කෘතියක සිට කෙමෙන් වර්ධනය වූ තත්වයකි. කම්පනීය අවසන් අත්දැකීම් කරා පාඨකයා කැඳවාගෙන යාමට අමරකීර්ති දක්වන අභිරුචිය හා සැළකිල්ල මතුවනුයේද එම ගර්භාෂයෙනි. 

රසිකයා බලාපොරොත්තු නොවූ අන්තයක් වෙත ඔහු කැඳවාගෙන යාමෙන් ඔහු ප‍්‍රීනනයටද ඥානනයටද ලක්කළ හැකිය. එහෙත් එය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස තවදුරටත් සැළකිය නොහැකිය. වර්තමානය වනවිට එය ඇතැම් සාහිත්‍ය වෙළඳුන්ගේ කූඨ උපක‍්‍රමයක් වී ඇත. ඔවුහු සිය පාඨකයාගේ දුබල ස්ථානය මැනවින් අධ්‍යයනය කරමින් එතැනටම ආමන්ත‍්‍රණය කිරීමට සමත් වී සිටිති. කෙටිකතාවේ මතු නොව, සිංහල කවියෙහිද එම ලක්ෂණය මෑතකාලීනව බෙහෙවින් වර්ධනය වී ඇති සැටියකි. ඒමඟින් ඔවුන් තමන්ගේම පාඨක ප‍්‍රජාවක් නිර්මාණයකර ගනිමින් පොත් වෙළඳුන් සඳහා විශාල අනුග‍්‍රහයක් දැක්වීමට සමත් වී ඇත. 

මේ යාන්ත‍්‍රික ප‍්‍රතිනිෂ්පාදන යුගයේ මුද්‍රණ කර්මාන්තය තරමටම සාහිත්‍ය කර්මාන්තයද යාන්ත‍්‍රිකකරණයට ලක්වී ඇත. ලිවීමේ තාක්ෂණය ඔවුන්ට හසු වී ඇත. කළ යුතු වන්නේ මඳ වෙනස්කම් කිහිපයක් සහිතව කතාව නැවත ලිවීමයි. ඒ කිසිසේත්ම ප‍්‍රති ලිවීමක් (Re-writing) නොවේ. එහෙත් ඉන් පාඨකයා පුදුමයට පත් වේ. සැබවින්ම නම්, සිදුවන්නේ අද දවසේ පාඨකයා මේ පොත් අතට ගන්නේම පුදුමයට පත්වීම සඳහා බව ඔවුහු කල් තබාම දැන සිටීමයි. එනයින් මෙහිදී සිදුවන්නේ පාඨකයා කතාව තුළ නොපැතුවද කියවීම තුළ පැතූ එකම දේ සාක්ෂාත් කිරීමයි. ඒ අර්ථයෙන් මේ වනාහී බලාපොරොත්තු නොවූ අවසානයකට ගෙන යාමෙන් පාඨකයා කම්පනයකට ලක් කිරීමකට වඩා තමා මිලදී ගත් භාණ්ඩයෙන් උපරිම තෘප්තිය පැතූ පාරිභෝගිකයා පිනවීමකි. සාහිත්‍ය කෘතියක් රසවිඳීමෙන් ලැබෙන වින්දනය හුදෙක් කුතුහලය සංසිඳුවීමක් බවට පටු නොකළ යුතුය. එය පාඨකයා තමා හාත්පස ස්වභාවික හා සමාජයීය බලවේගයන්ගේ බලපෑම භෞතිකව හා ආත්මීයව ප‍්‍රකාශයට පත්වන ආකාරය පිළිබඳ සවිඥානකත්වයක් වෙත කැඳවාගෙන යා යුතුය. එම සවිඥානකත්වය අප අත්විඳින්නේ සෞන්දර්යවාදී මානයකින් වීම මෙහි ලා අනිවාර්යයකි. 

අමරකීර්තිගේ ‘ගෙදර වට සිතියම’ නමැති කෙටිකතා සංග‍්‍රහයේ ඇතුළත් ප‍්‍රථම කෙටිකතාව ලෙස ගැනෙන ‘සිහින අහසක කතාවක්’ බඳු නිර්මානයක් ඇසුරින් කෙටිකතාකරුවා උක්ත අභියෝගය ජය ගැනීමට කොතෙක් සමත් වී ඇත්ද යන්න විමසා බලමු. 

ඉන් නිරූපණයවනුයේ ‘ගාමිනි’ නමැති චිත‍්‍රපටලෝලියාගේ අතීත ජීවිතය හා ඔහුගේ වර්තමාන (90 දසකය අගභාගයේ) ජීවිතය අතර පරතරයයි. 70 දසකයේ අගභාගය වනතුරු පැවති මෙරට සංස්කතිිකමය නිදහස 80 දසකය තුළ ක‍්‍රමයෙන් බිඳ වැටුණු ආකාරය සාහිත්‍යගතකරනු වෙනුවට ලේඛකයා මෙහිදී සිදු කරනුයේ ගාමිනි නමැති සැහැල්ලූ සිනමාලෝලියගේ අතීත ජීවන තතු විස්තර කිරීමය. ඊට සාපේක්ෂව 80 දසකය ආරම්භවීමත් සමඟ සිදුවන පරිවර්තනය, පැතලි, හදිසි මෙන්ම වාර්තාරූපි බසකින් කථකයා ලවා ඉදිරිපත් කිරීමය. 

”ඉන්පසු ගාමිනි මාමා වෙත දෛවය එල්ල කළේ දරුණු ප‍්‍රහාර මාලාවක්. අසූ තුනේ ජූලියේදී සිනමා ශාලාවලට ගිනි තිබ්බා. විජය චිත‍්‍රගාරෙ අළු වුණා. ඔහුෙ අහිංසක රාජධානිය වෙත මහ හෙණය පාත් වුණේ විජය ඝාතනයෙන්. මා කවදාවත් දැක නොතිබුණු අන්දමින්, සුදෝසුදු කලිසමක් හා කමිසයක් හැඳ ඔහු විජයගේ මළගෙදර ගොස් හරිම දුක්මුසු විලාසයෙන් ගමට ආවා. සිනමාවේ රංගනය පිණිස කොතෙකුත් හඬාවැලපී ඇති ගීතා, මීනා, සබීතා, රීටා ඇත්තටම අඬන හැටි දැකීමෙන් ගාමිණි මාමාගේ හදවත බිඳී තිබුණා. එතැනින් ආරම්භ වුණු ඛාදනය නිසා ඔහුගේ ඒ අලංකාර සිනමා මන්දිරය ටික ටික ගරා වැටුණා. දේශපේ‍්‍රමියෝ සීටීබී බස් ගිනි තිබ්බා. ආණ්ඩුවේ හමුදා, කොළ කොටි, ප‍්‍රා යනාදී දැන් මට නම් මතකත් නැති මිනීමරුවෝ අපේ ගම්වල රාත‍්‍රිය මරා දැම්මා.” 

(පිටු 15)

මේ මගින් සිදුවී ඇත්තේ ගාමිනී සිනමාලෝලියකුගේ සිට උමතු රෝගියකු බවට පත්වීමේ සමාජ මොහොත පිළිබඳ අවධානය පාඨකයාගෙන් ගිලිහී යාමයි. එහි ප‍්‍රතිඵලය වන්නේ එම තීරණාත්මක මොහොතේ ප‍්‍රචණ්ඩත්වය අත්විඳීමකට ලඝු වී සරල හාස්‍යජනක අන්තයක් වෙත ඇදවැටීමයි.  

”තොගෙ නම මොකද්ද ඇහුවා. මං කිව්වා ගාමිනි කියලා. අයිඞී එක ඉල්ලූවා. දුන්නා. බැලූවා. ගැහුවා. ඉතුරු ටික කියන්න වෙලාවක් ආවෙම නෑ. හිනාවෙමින් නමුත් මා බලා සිටියේ සිනමාලෝලියා වෙනුවෙන් පොලිසියෙන් ගුටි කෑ වීරයෙක් දෙස.” 

(පිටු 17)

තමන්ගේ හිස කුකුළු කූඩුවක දමාගෙන තමන් කුකුළකු ලෙස විශ්වාස කරමින් දිවි ගෙවීමට ගාමිනිට සිදුව ඇත්තේ ඉහත සඳහන් කෂ්තිමය අත්දැකීම (ඔර්මප් ෑංචැරසැබජැ* හේතුවෙනි. එහෙත් ඒ පිළිබඳ සංවාදය, ගාමිනී විරයකු බවට පත් කරමින් අතීතකාමයකින් කෙලවරවීම කනගාටුදායකය. තමන් මෙබඳු කොටුදැලක් භාවිත කිරීමට හේතු වශයෙන් ගාමිනි ඉදිරිපත්කරන තර්කය මගින් සිදුව ඇත්තේ කෙටිකතාකරුවාද සිරවී සිටින කොටුදැල ප‍්‍රදර්ශනය වීමයි. 

සිංහල - බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදයන් විසින් මෙහෙයවන ලද ශ‍්‍රී ලංකා ජාතික රාජ්‍ය විසින් වාරණයට ලක් කරන ලද සංස්කෘතිකෙ ලෝකය පිළිබඳ විරෝධයක් මතු කිරීමට මෙහිදී කෙටිකතාකරුවා සමත් වුවද එමඟින් මතුකරන අතීත සංස්කෘතික ජීවිතය එතරම් උත්කර්ෂයට නැගිය හැකිද? ගාමිනි වැන්නවුන් ආසක්තකර ගත හැකි සිනමාවක් අධිනිශ්චය කිරීමෙන් සිදුවී ඇත්තේ වෙනත් වර්ගයක වට්ටෝරුවක් (කොටු) තුළ සිංහල කලාත්මක අවකාශය සීමා කිරීම නොවන්නේද? ගාමිනීද ඔහුගේ සමකාලීන අනෙකාද ‘කොටු නැති චිත‍්‍රපට’ නැරඹීමෙන් ලැබූ සංස්කෘතික නිදහස ආරක්ෂාකර ගැනීඹට හෝ එම සංස්කෘතික නිදහස දේශපාලන හා ආර්ථික ක්ෂේත‍්‍ර වෙත කැඳවාගෙන ඒම සඳහා සිදුකරන ලද අරගලයන්ට දැක්වූ දායකත්වය කුමක්ද? 

ලාංකේය සමාජයට අදාල මෙබඳු ශිෂ්ටාචාරගත ගැටලූ පිළිබඳ බරපතළ ලෙස අවධානය යොමු කිරීමට කෙටිකතාකරුවාට හැකි නොවන්නේ ඔහුගේ විශේෂ අවධානය මේ වනවිට ‘කතා කීම’ කෙරෙහි යොමුවීම හේතුවෙන් විය හැකිය. 

එරික්ගේ ‘කෛලාසකූටය’ බඳු කෙටිකතා සංග‍්‍රහයක සංගෘහිත ‘හුදකලා කලාකරු’ නමැති කෙටිකතාව මේ සමඟ තුළනාත්මකව කියවීම අපට වැදගත් වන්නේ ඒ මගින් මෙම කරුණ මනාව වටහා ගත හැකි නිසාය. 

කල්පිටිය අර්ධද්වීපයේ දූපතක වෙසෙන නූතන සිනමාලෝලියකු පදනම් කරගනිමින් රචනා වී ඇති එම කෙටිකතාව අවසන් වනුයේ පහත පරිදිය.

"නිර්මාල්ට සිතුනේ ඒ සියල්ල සිංහල සිනමාව විසින් මග දමා යන ලද චිත‍්‍රපටි කෑලි සහ පසුතල නිර්මාණ බවය."

(පිටුව 101)

සිංහල කලාත්මක සිනමාව විෂයෙහි කෙටිකතාවෙන් සිදු කෙරෙන මෙම විවේචනය නූතනත්වය පමණක් කෙරෙහි එල්ලවූවක් නොවේ. තම හාත්පස සමාජයේ බිඳවැටීම් ඉදිරියේ යුතෝපියාවක් සොයමින් කල් මරන ඈත-මෑත සමස්ත සාහිත්‍ය - කලා පර්ෂදයන්ටම එල්ල කරන ලද බරපතළ විවේචනයකි එය. 

‘ගෙදර වට සිතියම’ කෙටිකතා සංග‍්‍රහයෙහි ලා කෙටිකතාකරුවා කතා රසය හා තේමාත්මක තීක්ෂණත්වය මැනවින් තුලනය කරගනු ලැබූ නිර්මාණයක් ලෙස ‘පෙම්කතාවක අතරමැද’ නමැති කෙටිකතාව දැක්විය හැකිය. නාගරික පහළ මැදපාන්තික සරසවි ශිෂ්‍යයෙක් මුහුණ දී ඇති අනන්‍යතා අර්බුදය, සමාජ පිළිවෙළ හා ස්වච්ඡුන්දතාව අතර ගැටුමක් ඇසුරින් නිරූපනය කිරීමට එහිදී කෙටිකතාකරුවා සමත් වේ. ඒමඟින් කෙටිකතාකරුවා නූතනවාදී තරුණියගේ අධ්‍යාත්මය තුළ වන ප‍්‍රතිවිරෝධතා මෙන්ම ඔවුන්ගේ නිදහස්කාමයට අවබෝධකරගත නොහැකි ධනේශ්වර දෘෂ්ටිවාදයන්ගේ බරපතළකම පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට සමත් වේ. එසේම එම ඉදිරිපපත් කිරීමේ විලාසයේ(form) පවත්නා නැවුම් බව හේතුවෙන්  එය කියවීමම සිංහල පාඨකයාට දුලබ අත්දැකීමක් වෙයි.

කෙටිකතා කලාව පිළිබඳ ප‍්‍රාමාණික බුද්ධිමතකුවන ලියනගේ අමරකීර්ති බඳු සාහිත්‍යවේදියකුට සිංහල කෙටිකතා කලාව වෙනුවෙන් තව බොහෝ වගකීම් ඉටු කිරීමට ශේෂව ඇති බව අපි දනිමු. එහෙත් එය සිදු කිරීම සඳහා වෙළඳපොළ බලවේගයන් මගින් එල්ලවන අවිඥානික බලපෑම් සමඟ විශාල අරගලයක් කිරීමට සිදුවන බව මෙහි ලා ලියා තැබිය යුතුය. තමන්ගේ පාඨක ප‍්‍රජාව වෙනුවෙන් ලේඛකයකු වෙනුවට, ඔවුන් වෙනස්කරන ලේඛකයකු වීමට ඔහුට හැකියාව ඇති බව අප විශ්වාසකරන බව මේ සමග ලියා තබමු.


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?