නිසලව ගලා බසින්නේ දොන් නදිය පමණක් නොවේ!
මිහයිල් ෂොලහොව් විසින් රචිත Quietly Flows the Don කෘතිය, වඩාත් ලෝක සාහිත්‍යයේ අවධානයට ලක්වූ කෘතියකි. සෝවියට් ලේඛකයකු වූ ෂොලහොව් නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේ මෙම කෘතිය හේතුවෙනි. මහින්ද සෙනරත් ගමගේ විසින් පරිවර්තිත වෙළුම් 4කින් පාඨකයා අතට පත්ව වසර කිහිපයකි. මේ වෑයම, එම කෘතිය සාහිත්‍යමය හා දේශපාලනමය කියවීමක් කිරීමටය.
මිහයිල් ෂෝලහොව් පිළිබඳව ජනප‍්‍රිය අදහස වන්නේ ඔහු කොමියුනිස්ට් ලෝකයක් අරභයා අනුත්තර ප‍්‍රාර්ථනාවකින් සාහිත්‍යකරණයේ නියැළුණු සමාජ සත්තා යථාර්තවාදී රීතිය අනුදත්, ලේඛකයකු ලෙසය. වැඩිමනත් මහන්සියකින් තොරවම ප‍්‍රචාරක ලේබලය අලවා, සාහිත්‍ය කතිකාවේ බැරෑරුම් ඉසව් කෙරෙන් ඔහුගේ කෘති බැහැර කරන්නට ඇතැම් සාහිත්‍ය විශේෂඥයන් පෙළඹෙන්නේ එබැවිනි. එහෙත් ෂෝලහොව් එසේ බැහැර කළ නොහැක්කේ ඔහු සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනා ඇති නිසා නොවේ. සිය දේශපාලන පක්ෂපාතීභාවය තිබියදී සාහිත්‍යය කෙරෙහි ඔහු තුළින් පළවූ අකපට අව්‍යාජභාවය නිසාය. එහි ලා කෘතහස්ත උදාහරණය වන්නේ ‘දොන් නදිය නිසලව ගලා බසී’ නවකතාවය.
පිටු දෙදහස් දෙසියයක් පුරා විහිදුණු මේ දීර්ඝ නවකතාව තුළ කතුවරයා අපට ආරාධනා කරන්නේ ඔහුත් සමගින් දොන් පෙදෙසේ චාරිකාවක යෙදෙන්නටය. දොන් නදිය අසබඩ පොප්ලර් ලැහැබකට වී ඉතිහාසය නිරීක්ෂණය කරන්නටය. ශ්‍රෙෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් ශතවර්ෂයකට ඉක්බිතිව අද අපි ඒ පිළිබඳව විවිධ විග‍්‍රහ, විචාර, අර්ථකතන ඉදිරිපත් කරන්නෙමු. කිසි ලෙසකින්වත් සජීවීව සම්බන්ධ වන්නට නොහැකි වූ ඉතිහාසයක විනිශ්චය කරුවන් වන්නට අප ඉක්මන් වන්නෙමු. වීරයන් සහ ද්‍රෝහියන් අතර ඉර ඉතා පහසුවෙන් අඳින්නෙමු. ෂෝලහොව් සිතන්නේ විනිශ්චයකරුවන් වන්නට ප‍්‍රථම අප ඒ ඉතිහාසයේ තියුණු නිරීක්ෂකයන් විය යුතු වගය. ඒ අර්ථයෙන් ‘දොන් නදිය’ වූ කලී අප අතීතය කරා රැගෙන යන ඉන්ද්‍රජාලික යානයකි.
ඊට පසුබිම් වන්නේ ඉතිහාසයේ දෙන ලද කාල පරිච්ෙඡ්දයකදී. ඓතිහාසික කොන්දේසි සමූහයකින් බැදී ගියා වූ දොන් පෙදෙසේ කොසාකයන්ගේ පොදු ඉරණමය. කෙත් බිම්හි, ගොවි බිම්හි, තණ බිම් හි උද්යෝගීමත් ශ‍්‍රම ක‍්‍රියාන්විතයන් අතැර සාර් අධිරාජ්‍යයේ ලාභය වෙනුවෙන් යුධ අගල් ගත වන්නට කොසාක් තරුණයන් ට සිදු වේ. මධ්‍යම පාංතික කොසාක් තාරුණ්‍යයේ නවකතාමය නිරූපණය වන ග‍්‍රිගෝරි මෙලෙකෝව් තතාර්ස්කියේ ප‍්‍රීතිමත් යෞවනය අතැර ලෝක යුද්ධයක බර කරට ගනී. එහෙත් යුද්ධයේ පළමු දවස් තුළ ග‍්‍රිගෝරි මෙලෙකෝව් ඉගෙන ගනිමින් සිටියේ කොසාක් දේශපේ‍්‍රමී රණ ගී තුළ ගැබ් වූ ‘උදාරත්වය’ නොවේ. තවමත් පරිපූර්ණ රණකාමියෙකු නොවූ ග‍්‍රිගෝරි සංග‍්‍රාම භූමියේ අවම`ගුල් සංදර්ශන දැක කම්පනයටත්, භ‍්‍රාන්තියටත් පත් වේ. සංග‍්‍රාමයක පළමු වෙඩිමුරයත් සමගින්ම මනුෂ්‍යත්වය අර්බුදය ට ගොදුරු වන අයුරු ෂෝලහොව් අපට විස්තර කරන්නේ ග‍්‍රිගෝරි ගේ කැළඹුණු අධ්‍යාත්මය හරහාය. ලෙසෙන්ජෝව් හි දී ඔහුගේ පළමු සටනත්, එහිදී පසුබසිමින් සිටි ඔස්ත‍්‍රියානුවෙකු අසිපතකින් දෙපළු කළ අයුරුත් ග‍්‍රිගෝරි වෙත ඉතිරි කරන්නේ වඩාත් ව්‍යාධිකාරක මතකයකි. මියගිය සෙබලාගේ දින පොතත්, කමියොන්කා-ස්ට‍්‍රැමිනාවෝහි රයි කුඹුරකදී ‘ම්ලේච්ඡු උර්යුපින්’ විසින් ප‍්‍රියමනාප ඔස්ත‍්‍රියානු සොල්දාදුවා මරා දැමීමත්, එහි සිට එන ගමනේ දී ගුවන් ප‍්‍රහාරයකට හසුව යෙගෝර් භයානක ලෙස තුවාල ලැබීමත් ග‍්‍රිගෝරි ට දරා ගැනීමට සිදුවන්නේ උමතු බවින් නොව පැහැදිලි පියවි සිහියෙනි. ඒ දරා ගැනීම වෙනුවෙන් ඔහු ලබන වරදානය වූ කලී, වික‍්‍රමාන්විතභාවය උදෙසා පිදෙන කුරුස කිහිපයකුත්, පරිපූර්ණ රණකාමය පිණිස අවශ්‍ය වූ ‘මිනීමරු පන්නරයකුත්’ පමණි.
තතාර්ස්කියේ රොමෑන්තික ආදරවන්තයා වූ ග‍්‍රිගෝරි ඉතා වේගයෙන් දක්ෂ, එපමණටම කෲර සටන්කාමියකු බවට පත් වෙතත් ඔහු සටන් කරන්නේ කා වෙනුවෙන්වත් නොවේ. ඉතිහාසයේ ඒ සන්ධිස්ථානයේදී ඒ සටන ඔහු විසින් කළ යුතුවම තිබූ බැවිනි. සාර් කෙරෙහි වූ පූජනීය පක්ෂපාතීත්වය වෙනුවට ඔහු තුළින් උනා එන්නේ සියුම් යුධ විරෝධයකි. යුධ බිමේ හැම අ`ගලකදීම ඔහු ප‍්‍රත්‍යක්ෂ කරගන්නේ වික‍්‍රමාන්විත වීමේ ආශ්වාදය නොව විනාශයේ අතිමහත් ශුන්‍යතාවයයි. සාර් ගේ නව උත්ථානයක් පතන කපාරින්ට ග‍්‍රිගෝරි වරක් මෙසේ පවසන්නේ එබැවිනි.
”මම 1914 ඉදලා දැන් වෙනකල්ම පෙරමුණේ ඉදල තියෙනවා. බොහෝම කෙටි නැවතිලි කීපයක් ඇතිව. එතකොට මේ ඔහේගෙ ඇඟිල්ල.. කොහොමද ඒක දෙවියන් වහන්සේ ගෙ ඇඟිල්ල වෙන්නෙ. කිසිම දෙයියන්නාන්සෙ කෙනෙක් නැතිකොට? මං ඔය විකාර විශ්වාස කරන එක නවත්තලා හු`ගාක් කල්. පහළොව තරං ඈත කාලෙදි. යුද්ධෙ ගැන හැබෑ බැල්මක් මං ලැබුවට පස්සෙ මං තීරණය කළා කිසිම දෙයියන්නාන්සෙ කෙනෙක් නෑ කියලා. කොහෙත්ම නෑ! එහෙම උන්නා නං එයාට කිසිම අයිතියක් තිබ්බෙ නෑ අර තරං මහ අවුලකට ඉඩ දෙන්න. අපි, පෙරමුණු භටයෝ, දෙවියන්ව අහෝසි කරලා එයාව නාකි මිනිස්සුන්ටයි, ගෑනුන්ටයි අතෑරියා. ඒගොල්ලම එයාගෙන් සැනසුනාවේ. ඒ නිසා දෙවියන්ගේ කිසිම ඇඟිල්ලක් නෑ වගේම කිසිම රාජාණ්ඩුවකුත් තියෙන්න බෑ. මිනිස්සු ඒකට සදහටම අවසානයක් තියලා.”
(දොන් නදිය නිසලව ගලා බසී - පිටුව 554, සිවුවන වෙළුම)
යුද්ධය අරභයා ග‍්‍රිගෝරි ගේ මේ ප‍්‍රකාශය තුළ සාරාංශගත කෙරී ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආකල්පයකට වඩා, ඒ නිශ්චිත වකවානුවේ දී කොසාක් සොල්දාදුවන්ට යුද්ධය දර්ශනය වූ අයුරුය. එහි කිසිදු දැකුම්කලූ බවක් නොවූ අතර ඔවුන් වඩාත් කැමති වූයේ ඉක්මන් සාමයකටය. බුන්චුක්, ස්ටොක්මන්, ගරන්ෂා වැනි බොල්ෂෙවික් ක‍්‍රියාකාරිකයන්ට යුධ අගල් තුල විප්ලවීය මතවාදය පැළ කරගන්නට පුළුවන්කම ලැබුණේ එනිසාය. පළමු ලෝක මහා සංග‍්‍රාමය කොසාකයන් මත පතිත කළේ මොනතරම් බියජනක ඛේදවාචකයක් ද යත්, එය ෂෝලහොව් තනි වාක්‍යයකින් විස්තර කරන්නේ මෙපරිදිය.
”තුවක්කු සිය අවම`ගුල් ගීතිකාවන් හෙණ හඩින් නගද්දී ඔවුහු ඔස්ත‍්‍රියාවේදී, පෝලන්තයේදී හා ප‍්‍රසියාවේදී කුණු වී ගියහ.”
කුණු වී ගිය යුද්ධයකට වෛර බ`දිමින් ඔවුන් පෙරමූණ හැර සිය කොසාක් ගම්බිම් කරා නැවත එන්නේ බොල්ෂෙවිකයන්ගේ බලපෑමට නතු වීමෙනි. දොන් නදිය විවිධ පැති මානයන්ගෙන් සාකච්ඡුාවට ලක් කළ හැකිව තිබුණත්, මේ ලිපියේ ලා අප වඩාත් අවධානය යොමු කරන,එසේම අප වඩාත් තිගැස්මට පත් කරන කලාපය ඇරඹෙන්නේ කොසාකයන්ගේ පෙරමුණ අතැර ඒමේ ක‍්‍රියාවලියත් සමගිනි. ග‍්‍රිගෝරි ට අවශ්‍ය වන්නේ තතාර්ස්කියේ සිය ගොවි බිමට වී නතාලියාත් දරුවනුත් සමගින් චාම් ජීවිතයක් ගත කරන්නටය. රතු හමුදාව හා සුදු හමුදාව අතර ඇවිලෙන්නට නියමිත නාස්තිකාර සටනේ කිසියම්ම හෝ කොටසක් නියෝජනය කරන්නට ඔහුට වුවමනා වන්නේ නැත. එහෙත් ඉතිහාසයේ රිය සක කරකැවෙන්නේ ඔහුට අවශ්‍ය පරිදි නොවේ. සුදු හමුදාව ට එදිරිව සටන් වදිමින් ‘රත්තන්’ දොන් පෙදෙසට ඇතුළු වීමත් සමගම ග‍්‍රිගෝරි ගේ දෛවය වෙනස් වන්නට ගනී. සාර් ගේ තේරුමක් නැති යුද්ධයට එදිරිව සිට ගනිද්දී, බොල්ෂෙවිකයන්ට ආසන්න කවයක ස්ථානගත වූ ග‍්‍රිගෝරි සිය නිජබිමට රත්තන් ඇතුළු වූ තීරණාත්මක දවස්වලදී ‘දේශපේ‍්‍රමියකු’ බවට රූපාන්තරණය වේ. ඔහුට බොල්ෂෙවිකයන් හා විසඳා ගැනීමට තිබෙන්නේ එකම එක ප‍්‍රශ්නයකි.
‘මේ ආණ්ඩුව අපිට, කොසාක්ලට දෙන්නෙ මොනවද?’
ග‍්‍රිගෝරි විප්ලවයේ මිත‍්‍රයෙකු බවට පත් කර ගැනීමට තරම් සමත් පිලිතුරක් ලබා දෙන්නට තතාර්ස්කියේ සෝවියට් සභාපතිවරයා වූ හිතවත් ඉවාන් කොත්ල්‍යාරෙව්ට පුලූවන්කමක් නැත. තතාර්ස්කිය හරහා යන ගමනේ දී ග‍්‍රිගෝරිගේ නිවසට කඩා වදින ඇලෙක්සැන්ඩර් ටියුර්නිකොව් නම් රතු සෙබලා ගේ හැසිරීමත්, අනීකෙයි ගේ නිවසේදී හමුවෙන රතු හමුදාවේ සාජන් මේජර් තරුණයාගේ ක‍්‍රියාකාරීත්වයත් ග‍්‍රිගෝරි ඉතා පහසුවෙන් ප‍්‍රතිවිප්ලවවාදීන්ගේ තුරුලට තල්ලූ කර දමයි. එහෙත් වඩාත් වැදගත්ම කාරණය විප්ලවය පිළිබදව ග‍්‍රිගෝරි ගේ විචිකිච්චාව සමනය කර දෙන්නට තරම් කෙනෙක් ඔහු වටා නොවීමය. ඔහුට නිසි පිළිතුරු ලබා දිය හැකිව තිබුණු බුන්චුක් ලා, ස්ටොක්මන්ලා විප්ලවයේ හැම බිම් අ`ගලකදීම හමුවූයේ නැත. වරෙක ඉවාන් කොත්ල්‍යාරෙව් හා සංවාදයේදී ග‍්‍රිගෝරි මෙවැන්නක් කියයි.
‘හරි, ඔහේ මට බෙරිහන් දෙන්න ඕන නෑ! මං කළේ පහුගිය වෙච්චි දේවලින් මගේ හිතේ තිබ්ච්ච දේ ඔහේට කියාපු එක. ඔහේ කියන්නෙ මිනිස්සු සමාන කරනවා කියලා... එහෙම තමයි බොල්ෂෙවික් ලා නූගතුන්ව අල්ලා ගන්නෙ. උන් උන්ගෙ අපූරු වචන ඉහළ දැම්මාම මිනිස්සු ඒවට ඇදෙන්නේ මාළු ඇමට යන්නා වගේ! ඒත් මොකද උනේ අර සමානතාවට? රතු හමුදාවම අරන් බලනවා, දැක්කනේ ගහ පහුකරගෙන ගියපු හැටි. කණ්ඩායමේ අණ දෙන නිලධාරියා දාගෙන උන්නේ අපූරු හරක් හම් බූට් සපත්තු. ඒත් සාමාන්‍ය භටයින්ගේ කකුල්වලට වැරැුහැලි. මං දැක්කා කොමිසාරයෙක් මුළු ඇග පුරා හම් පොරවාන ඉන්නවා. ජැකට්ටුවයි කලිසමයි දෙකත් ඒ වගේ. ඒත් අනිත් අයගෙන් සමහරුන්ගේ බූට්වලවත් හමක් නෑ. ඒ උන් බලය අල්ලගෙන අවුරුද්දක් ඇතුළත. උන් මුල් අල්ල ගත්තම... එතකොට සමානාත්මතාව ට මොනව වෙයිද..? උන් පෙරමුණේ දි කියන්ට පුරුදු වෙලා උන්නෙ අපි හැමෝම සමාන වෙනවා. අණ දෙන නිලධාරීන්ටත්, සෙබළුන්ටත් එකම ලෙස ගෙවනවා කියලා කියන්ඩ. ඒත් එහෙම වුණාද? නෑ! ගොම්බෙට්ටෝ! ඒක ඇමක් විතරයි! රදළයන් නරක වෙන්ඩ ඇති. ඒත් මාව විශ්වාස කරනවා, හිටි අඩියේ උඩට ආපු උන් ඊට සියක් ගුණයක් නරකයි! අපිට සමහර කුණුවෙච්චි නිලධාරීන් හිටියා, ඒත් සාමාන්‍ය භටයෝ අතරින් හිටිගමන් උඩට ආව කොසාකයෙක් උන්නොත් අනිත් උන් හාන්සි තමයි! ඊට වඩා නං නරකක් ආයිත් නෑ! ඒකා අනිත් කිසිම කොසාකයෙකුට වඩා ඉගෙනගත්ත දෙයක් නෑ, හරකුන්ගෙ නැට්ට කරකවන්න විතරයි දන්න එකම දේ. ඒත් මෙන්න දැන් ඒකා බලය බීගෙන වැදගත් තාලෙ මිනිහෙක් වෙලා! ඒ විදිහට ඉන්න නං අනික් ඕනම එකෙක් හම ගහන්න ඒකා ලෑස්තියෙනුයි ඉන්නෙ...”
(පිටුව 199/200 තුන්වන කාණ්ඩය)
පසු කලෙක ස්ටැලින්වාදය යටතේ වැඞී වර්ධනය වූ නිලධාරිවාදයේ නරුම විස බීජය ෂෝලහොව් කල් තියාම හඳුනා ගන්නා බව පැහැදිලිය. එහෙත් එය අනිවාර්යයෙන්ම හදුනාගත යුතු වූයේ ක‍්‍රියාකාරී බොල්ෂෙවිකයන්ය. එහෙත් ඔවුන් අතින් ඒ වැදගත් කර්තව්‍යය සිදුවීද?
ග‍්‍රිගෝරි ගේ නිර්දය විවේචනය අරභයා කොෂොවොයි ගේ ප‍්‍රතිචාරය මෙබ`දුය.
"දේශපාලනේ මොන තිත්ත දෙයක් ද, මළ හත්තිලව්ව! ඕන දෙයක් ගැන කතා කරන්ඩ පුළුවන්. ඒත් දේශපාලනේ තරං වෙන මොහොකින්වත් අමනාපකං ඇති කෙරෙන්නෙ නෑ... දැන් මේ අපි ග‍්‍රිගෝරි එක්ක වාද කරපු දේ.. අපි පරණ යාළුවෝ.. අපි එකට ඉස්කෝලෙ ගියා. අපි එකම කෙල්ල පස්සෙ දිව්වා... ඌ මට සහෝදරයෙක් වගේ... ඒත් ඒකා මේ විදිහට යන්ඩ ගත්තම මාව වියරු වැටුණා... මං හිතුවෙ මගේ හදවත දිය කොමඩුවක් වගේ පුපුරාවි කියලා... මාව ඇතුලෙන් ගැහෙන්ඩ ගත්තා! හරියට ඌ මගේ හදවතේ තිබුණු ආදරණීයම දේ ගත්තා වගේ! ඌ මාව මංකොල්ල කෑවා වගේ! මේ වගේ කතාවකට එන කේන්තියකට මිනිහකුව මරන්ඩ පුළුවන් ! මේ යුද්ධෙදි කිසිම සහෝදරයෙක්වත් ඥාති සහෝදරයෙක්වත් නෑ. ඉරක් ඇඳලා සීමා හදාගෙන ඒක ඇතුළෙම ඉන්න වෙනවා.’
මිෂ්කාගේ කටහඬ වෙව්ලූයේ විඳගත නොහැකි නින්දාවක් අත්වින්දාක් මෙනි. ‘මගේ මොනම කෙල්ලක් ඌ ගත්තත් මං ඌ ගැන කවදාවත් කේන්ති අරන් නෑ. අද ? කරපු කතාවට තරං. ආන් එහෙමයි මට දැනුණේ!”
(පිටුව 202 තුන්වන වෙළුම)
මොස්කව් හි දී විප්ලවය බලවත් වූයේ යම් සේ ද, දොන් පෙදෙසෙහි දී ප‍්‍රතිවිප්ලවය බලවත් විය. බොල්ෂෙවිකයන්ගේ කැමැත්ත අකැමැත්ත කෙසේ වෙතත් ප‍්‍රතිවිප්ලවය එසවී තිබුණේ මර්දනයෙන් මෙපිට පිළිතුරු සොයාගත නොහැකි අඩවියකටය. එහෙත් මර්දනය වූ කලී විනෝදාස්වාදයක් නොවීය. අධිකරණ කටයුතු බාර ගැනීමෙන් ඉක්බිති, ප‍්‍රතිවිප්ලවවාදීන්ට දඩුවම් පැමිණවීමේ රාජකාරිය පරමාදර්ශී බොල්ෂෙවිකයෙකු වූ බුන්චුක්ට පැවරෙන අතර ඉන් ඔහු කොතරම් පීඩාවට පත් වන්නේද යත් අනපේක්ෂිත ලිංගික බෙලහීනත්වයකට පවා ගොදුරු වේ. සිය තුවාල ලත් හදවත සුවපත් කරගන්නට ඔහුට ඉතිරි වන්නේ විප්ලවය පිළිබඳව උදාර ප‍්‍රාර්ථනා පමණි.
"මං මේ වැඩෙන් අයින් වෙන්නෙ නෑ! මට මෙහේදි හොදින් දැනෙනවා මං ප‍්‍රයෝජනවත් දෙයක් කරනවා කියලා! මං කුණු අතු ගාලා දානවා! පොළව වඩා පොහොසත් කරන්න, සාරවත් කරන්න මං බිම් සකසනවා! යම් දවසක ඒ මත්තෙ ප‍්‍රීතිමත් මිනිස්සු ඉදීවි.. සමහරවිට ඒ අයගෙන් එක්කෙනෙක් මගේම පුතා වේවි...!”
(පිටුව 409 දෙවෙනි වෙළුම)
එහෙත් මල්කින් වැනි කොමිසාර් වරයෙකුට භීෂණය ප‍්‍රීතියක් විය. විප්ලවයේ දීප්තිමත් රක්ත වර්ණය අ`දුරු වූයේ එවැන්නන් අතිනි. එපරිද්දෙන්ම මිහයිල් කොෂොවොයි තතාර්ස්කියට පැමිණ කුලාකයන්ගේ නිවාස ගිනි තැබීමත්, සියක් වසක් ආයු ඇති ග‍්‍රීෂා සීයා මරා දැමීමත් විප්ලවය ට අලංකරණය ක් එකතු නොකළේය. ඒවා යළි සකසා ගත නොහැකි අත්වැරදි විය. මෝඩකම් විය.
එහෙත් ඒවා සිදු විය.
ලිස්ට්නිස්ට්ස්කි වතුයායේ මහලූ ජනරාල් වරයාට උපස්ථානයේ යෙදෙන වෙනියාමින් නම් සේවකයා පිළිබඳ ෂෝලහොව් වරෙක මෙසේ ලියයි.
"ඔහු ගුප්ත උදරාබාධයකින් පීඩා විදි අතර ඔහුගේ වෛද්‍යවරු ඔහුට ඝන ආහාර ගිලීම තහනම් කොට තිබිණි. ඔහු එකිනෙක ආහාර කැබලි විකා සාරය උරා බී ඉතිරිය, කලින් ගොවියෙකුව සිට දැන් ඔහු වෙනුවෙන් ම භක්තියෙන් උපස්ථානයේ හි යෙදී සිටින තරුණ සේවක වෙනියාමින් අල්ලාගෙන සිටින ලොකු රිදී තැටියට කෙළ ගසයි.
වෙනියාමින් ඇත්ත වශයෙන්ම මෝඩයෙකු විය. ඔහුගේ අ`දුරු මුහුණ සහ වටකුරු හිස මුදුනෙහි වූයේ කෙස්සකට වඩා කපු රෙදි වැනි යමක් මෙනි. ඔහු ලිස්ට්නිස්ට්ස්කි සමග වසර හයක් හමුදා සේවයේ යෙදී සිට තිබුනේය. ජනරාල් පසෙකින් සිට රිදී තැටිය අල්ලා සිටින්නට සිදු වූ පළමු අවස්ථාවේ, දතින් ඉරුණු ආහාර කැබලි මහල්ලා කෙළ ගසද්දී ඔහුට ඔක්කාරයට එන්නට ආ නමුත් පසුව ඊට පුරුදු වූයේය. අවුරුද්දකට පමණ පසුව එක් දිනක් ඔහුගේ ස්වාමියා කළුකුම් මසින් සාදන ලද කට්ලට් විකමින් කෙළ ගසනු බලා සිටි ඔහු ‘මේ මොන නාස්තියක් ද? ඌට කාගන්ඩත් බෑ. ඒ වුනාට මගේ හිස් බඩ ගුරු ගුරු ගානවා... මේකා පිදුරු ගොඬේ ඉන්න බල්ලා වගේ. ඌ වෙනුවෙන් මංවත් ඉවරයක් කරන්ඩ බලන්ඩ ඕනෑ. ඒකෙන් මට මොනවා වෙන්ඩ ද?’යි සිතීය. ඔහු උත්සාහ කළ අතර එය ඉක්බිති ඔහුට අසීරුවක් නොවිණි.”
(පිටුව 224/225 පළමු වෙළුම)
රුසියානු ග‍්‍රාමීය පංතියේ පීඩිත බව පිළිබඳ තවත් සාක්ෂි අවශ්‍ය නැත. බොල්ෂෙවිකයන්ට ප‍්‍රධාන කාර්මික නගරවලින් බැහැරදී සංවිධානය කරන්නට සිදු වූයේ එබ`දු ජනතාවකි.
ළදරු සෝවියට් සමූහාණ්ඩුවට කොමියුනිස්ට්වාදය අභ්‍යාස කිරීමට සිදු වුයේ නොනවතින කාලතුවක්කු ගර්ජනා මැදය. ප‍්‍රතිවිප්ලවවාදී සුදු හමුදාව ප‍්‍රබල ධනවාදී රාජ්‍යයන් ගේ සහාය ඇතිව කොමියුනිස්ට්වාදය උපන් ගෙයින් අතු ගා දමන්නට මාන බලමින් සිටියහ. ඒ අව් අස්සේ රුසියාව මුළුමනින්ම හාමත් වීමේ අනතුරට ගොදුරු වී සිටියේය. මේ සියළු අබග්ගයන්ට මුහුණ දීමට තරම් දියුණු කොමියුනිස්ට්වාදීන් තොග ගණනින් සොයා ගත නොහැකි වූ අතර බුන්චුක්ලාට, ස්ටොක්මන්ලාට තරම්ම තීරණාත්මක වැඩ කොටසක් කොෂොවොයි ලා ට ද, මල්කින්ලාට ද පැවරිණි. විසල් සෝවියට් සමූහාණ්ඩුවේ හැම බිම් අඟලකම සිද්ධ වෙමින් තිබූ දේ දකින්නට නම් දිව්‍යමය දෙනෙතක්, දිවැසක් ලෙනින්ට, නායකත්ව මණ්ඩලයට තිබිය යුතු විය.
ආහාර එකතු කිරීමේ ඒකකය නිර්මාණය වීමත් සමගම ප‍්‍රතිවිප්ලවය වඩාත් දුෂ්ඨ මුහුණුවරක් ගත්තේය. කොමියුනිස්ට්වාදය තරම් සතුරු ධර්මයක් ලොව නැතැයි සිතූ පරිද්දෙන් කොසාකයෝ විප්ලවයෙන් තීරණාත්මක ලෙස ගැලවෙන්නට විය. ඒ වෙනුවට ඔවුන් බදා වැලඳ ගත්තේ දේශපේ‍්‍රමීන්ගේ ව්‍යාජ හිතෛෂීවන්තභාවයය. ‘දොන් නදිය’ කෘතිය අලලා දිගු විචාරාත්මක ලිපියක් රචනා කරන වී.ලිත්විනොව් ඒ ගැන විග‍්‍රහ කරන්නේ මෙලෙසිනි.
"හැමටමත් වඩා, ග‍්‍රිගෝරි තම කැරලිකාරි අධ්‍යාත්මයේ මුළුමහත් කෝපයෙන් යුතුව, යුද්ධයට, සුමුදු අතැති වංශවතුනට වෛර කළ නමුදු ඔහු රතු කඳවුර හැර ගියේ ඇයි? ඔහු කෑදර නැතහොත් බියගුළු ආත්මාර්ථවාදියෙක් නොවේ. ඔහුගේ මානසික ගොඩ නැගීම එක් කුඩා දේපොළ හිමියෙකුගේ සුවිශේෂීත්වයක් නොවේ. ඊට ප‍්‍රතිවිරුද්ධව, ඔහු නිතරම තමාගේ ආරක්ෂාව ගැන කිසිසේත්ම නොතකා තදින්ම සටනේ යෙදී සිටින්නෙකි. එසේම ඔහු එහි නිරත වන්නේ තමන්ගේ මිනිසුන් කෙරේ හොදම විස`දුම සොයා ගැනීමට ඔහුට වුවමනා නිසාය. කතුවරයා විසින් එතරම් තීව‍්‍ර ලෙස විස්තර කරන සියළු වධහිංසාවන් ඔහු විඳ දරාගන්නේ ඔවුන් නාමයෙනි.
එහෙත් ග‍්‍රිගෝරි ගේ අවාසනාව වන්නේ ඔහුට ජනතාව යනු කොසාකයන් පමණක් වීමය. ඔහුට දොන් පෙදෙසින් එපිට කිසිවක් දැක ගත නොහැකිය.”
කොසාක් අර්බුදය මොනතරම් තීව‍්‍ර වූයේද යත් දුප්පත් ද පොහොසත් ද පීඩිතයෙක් ද කුලාකයෙක් ද යන්න නොතකා කොසාක්වරු මුළුමනින්ම වද කළ යුතු බවට අදහසක් බොල්ෂෙවිකයන් තුළින්ම පැන නැගුණි. එහෙත් සැබෑ බොල්ෂෙවික් නායකත්වය ඉන් කොතෙක් චකිතයට පත් වූවේද යත් 1919 ජුනි 03 දා දකුණු දිග පෙරමුණේ විප්ලවීය යුධ මණ්ඩලයේ නායකත්වය වෙත විදුලි පණිවිඩයක් යවන ලදී. කොසාක් ජනයා වෙත අත්තනෝමතික ලෙස බලය පටවමින් ක‍්‍රියාකිරීම සම්බන්ධයෙන් එහිදී ප‍්‍රාදේශීය සෝවියට් පරිපාලකයන්ට අනතුරු ඇ`ගවීමක් කරන ලදී. වැඩිදුරටත් එහි ලා ලෙනින් මෙසේ ලිවීය.
"පොදු ප‍්‍රතිපත්තියේ දී කිසිදු විශේෂත්වයක් නොමැති, ඒ හා සමගම මහජනතාව කෝපයට පත් කරවන, එදිනෙදා කුඩා කරුණුවලට බාධා කිරීම් කෙරේ විශේෂයෙන් සැලකිලිමත් වීමේ අවශ්‍යතාවයට අපි අවධානය යොමු කරමු. ප‍්‍රධාන ප‍්‍රශ්නය මත දෘඪ රේඛාවක් අඳිමු.”
ලෙනින් - එකතු කළ කෘති
ප‍්‍රාදේශීය පරිපාලකයන්ගේ ලැජ්ජා සහගත හිතුවක්කාරකම ගැන ලෙනින් ලියද්දී අපට මතක් වන්නේ ෂෝලහොව් නිරූපණය කරන මල්කින් හෝ කොෂොවොයි වැන්නන්ය. එවැන්නන් ගේ හිතුවක්කාරකමේ තාර්කික අන්තය වූයේ විප්ලවය කෙරෙහි මුලදී යම් මිත‍්‍රශීලී ආකල්පයක් දැරූ ග‍්‍රිගෝරි වැන්නකු කෲර හමුදා නායකයෙකුගේ තැනට තල්ලූ කොට දැමීමය. ඉන් විප්ලවයේ ඉදිරි ගමනට සිදු වූයේ පිරිමැසිය නොහැකි අඩුවකි.
Comments
Post a Comment