‘සූස්ති’ ජිවිතයේ out of focus රූපයක්!
අසමත් රාජ්‍යයක out of focus ජීවිතයක්’. ඒ තේමා පාඨය රැුගෙන සිනමාහල්වල ප‍්‍රදර්ශනය වූ කුෂාන් වීරරත්නගේ ‘සූස්ති‘ චිත‍්‍රපටය සම්බන්ධ කතාබහ කරන්න අපි කල්පනා කරන්නෙ වත්මන් තාරුණ්‍යයේ පීඩාව සම්බන්ධ සාකච්ඡා කරන්න උත්සාහ කිරීම නිසයි.
කළණ ගුණසේකරගෙ පිටපතක ඔහුම ‘මාලක’ නමැති ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන මෙම චිත‍්‍රපටයේ ඇත්තටම ප‍්‍රධාන චරිතය ලෙස සැළකිය හැකිවන්නේ සමනලී ෆොන්සේකා නිරූපණය කරන ‘සූසා‘ ගේ චරිතයයි.
මේ චිත‍්‍රපටයෙ කතා පුවත කෙටියෙන් කිවහොත්, අපේ සාකච්ඡුාවට පහසුවක් වේවි. ‘සූසා’ මධ්‍යම පන්තික පවුලක එකම දියණිය. මව්පියන්ගෙ ඉලක්කයන් වෙනුවෙන් අපහරණයවීම ඇගේ පීඩාවයි. අකැමැති කෙනෙකු හා විවාහ වීමට බල කෙරුණු තත්වය යටතේ සූසා සියදිවි නසාගන්න සූදානම් වෙනවා. ඇය උස් ගොඩනැගිල්ලකින් පහළට පැනීමට සිතමින් විපිළිසර වෙමින් සිටියදී ‘මාලක‘ එතැන පෙනී සිටිනවා. ඔහු කියන්නෙ ”කොච්චර හිත හදාගත්තත් අන්තිම තප්පරේදි හිත ගැස්සෙනව. ඒත් තනියම බැරි උනත් දෙන්නෙක් එකතු උනොත් පුළුවන්. සතියක් ගිහිල්ල මෙතැනට ඇවිල්ලා මැරෙමු” කියලා. ඉන්පස්සෙ ඔවුන් හිතවත් වෙනවා. මිතුරන් ලෙස ලංකාවේ කල්පිත සංචාරයක යෙදෙමින් අත්කර ගන්නා අත්දැකීම් ප‍්‍රමාණයක් පේ‍්‍රක්ෂාගාරයට ඉදිරිපත් කරනවා. යුද්ධය පැවති කලාපයේ වගේම කඳුකරයේ චාරිකා කරන මේ යුවල එක්තරා ආකාරයකින් පෙම්වතුන් ලෙසත් හැසිරෙනවා. කඳුකරයේ සිහිල් දියදහරකින් දිය නාන සූසා, මාලකට පවසන්නේ පළමුවරට ජීවත්වීමේ ආශාවක් ඇති වූ බවය.
මේ අතර සූසාගේ මව්පියන් ඇය නිවසට දන්වා සිටි ලියුම පාදක කරගෙන එකිනෙකා මත වරද පටවමින් වාද කරනවා. සුසා සහ මාලක අවසානයේ සිය දිවි නසා ගැනීමට සුදුසු යැයි සිතන ලෝකාන්තයේ ස්ථානයකට යනවිට එම අරමුණ හා සිත එකඟකර ගන්නට සූසාට නොහැකි වෙනවා. ඇය හැරී බලද්දී මාලක ඇය අසළ නැති බව දකිනවා. මේ හා සමගම මාලක යනුවෙන් මේ දක්වා සිටියේ යම් ආකාරයකට සූසා ගේම ජීවිත ආශාවදැයි සැක පහළ වෙනවා.
කෙසේවෙතත් සූසා අවසානයේ ජීවිතයෙන් පලායාම වෙනුවට ජිවත්වීම තෝරාගන්නවා. එහෙත් නැවත මාලක පෙනී සිටින දර්ශනයක් චිත‍්‍රපටය අවසානයේ පේ‍්‍රක්ෂකයා හමුවට එනවා. එහිදී දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට සිටින තරුණියක් අසළට යන මාලක ”කොච්චර හිත හදාගත්තත් අන්තිම තප්පරේදි හිත ගැස්සෙනව. ඒත් තනියම බැරි උනත් දෙන්නෙක් එකතු උනොත් පුළුවන්. සතියක් ගිහිල්ල මෙතැනට ඇවිල්ලා මැරෙමු” යනුවෙන් පවසනවා.
අපේ කාලයේ තරුණ පරම්පරාව ජීවිතයේ විනෝදය සොයා යන එක් මාවතක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය අධිනිශ්චය වී තිබෙනවා. ‘සූස්ති’ ලෙස නම් කෙරුණු මේ සිනමා පටයේ ‘සූස්ති’ මතට යොමු වෙමින් මාලක හා සූසා ජීවිතයේ සැහැල්ලූ වින්දනයක් හිමිකර ගන්නා අවස්ථාවක් නිරූපණය වෙනවා. නමුත් සංචාරය කිරීම, පරිසරයේ සුන්දරත්වය අත්විඳීම වැනි සුපුරුදු විනෝද අවස්ථා වගේම සහෝදර ජනයාගේ ජීවිත වෙත එබී බැලීමද මේ සිනමා කෘතියේ අපගේ අවධානයට ගැනෙනවා. එසේවුවත් මේ නිදහස්කාමී අරාජික ජිවන විලාසය ගැටවර වයසේදී අත්හදා නොබැලූ තරුණයකු හෝ තරුණියක සිටීදැයි අප ප‍්‍රශ්න කළ යුතුයි.
70 දසකයේ තාරුණ්‍යය නිරූපණය කරමින් හන්තානේ කතාව, බඹරු ඇවිත්, පාර දිගේ වැනි සිනමා කෘතිවල සරල විනෝදය, මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම ලිංගික නිදහස අත්හදා බලන තරුණ තරුණියන් හමු වෙනවා. එසේවුවත්, කළණ ගුණසේකරගේ ‘සූස්ති‘ තුළ ප‍්‍රතිනිර්මාණයවන සූසා සහ මාලක, වත්මන් තාරුණ්‍යයේ වඩාත් ආන්තික නියැදියක් බව කිව හැකියි. කිසිවකුට වගකියන්නේ නැති තමන්ම තීරණය කරන ඉරණමක් කරා යාමට ඔවුන්ට උද්වේගකාරී ආශාවක් තිබුණත් 70 දසකයටත් වඩා ඔවුන් පවතින සමාජ ආර්ථික සීමාවන්ගේ සිරකරුවන් බවට පත් වෙලා. එයින් මිදීමට වෙර දරන අතර ජීවිතයේ පසුකාලයේදී පවා එවැනි නිදහස් විනෝද කටයුතු අනුගමනය කරන තාරුණ්‍යයක් අපට හමුවෙනවා.
යුද්ධයෙන් විනාශ වී ගිය නිවසක් අසළ මේ යුවල හුවමාරු කරගන්නා දෙබස් ව්‍යාජ යුද විරෝධයක් ඉස්මතු කරනවා. යුද්ධය හෝ සාමය යනු එකම අවුල් ජාලයක ඔවුන්ද සිරගත කළ අවස්ථා දෙකක් බව ඉන්පසුව දිගහැරෙන දර්ශනවලින් සංකේතවත් වෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ තමිල් හා මුස්ලිම් ජනයා ඔවුන්ට මහත් සැළකිලිමත් ලෙස ආගන්තුක සත්කාර කරද්දී සහ යුද්ධය නිසා ඇතිවූ කරදර විස්තර කරද්දී යුද්ධය නියෝජනය වන්නේ හුදු ආගන්තුක සිදුවීමක් මිස ඔවුන්ගේ ජීවිතයට අදාළ ගැටලූවක් ලෙස නොවේ.
කෙසේවෙතත් මෙම සිනමා පටයේ විරෝධාකල්ප අදහස් මතුකරන බොහෝ අවස්ථා යම් ආකාරයක යාන්ත‍්‍රික ප‍්‍රචාරකවාදී ලක්ෂණ දරා සිටින්නේ සිනමා කලාවේ ආගන්තුකභාවයක් අධ්‍යක්ෂවරයා තුළින් මතු කරමින්. වඩාත්ම කර්කෂ තත්වයක් ලෙස සූසා සහ මාලක අතර සිදුවන දේශපාලන සංවාද හඳුන්වා දිය හැකියි. නගරයේ සිට පලායන මේ යුවල මුහුණ දෙන අවස්ථා විග‍්‍රහ කරන්නේ මාලක විසින්. ඒ තිරපිටපත් රචක කළණ ගුණසේකරගේ අදහස් බව පැහැදිලියි. සිනමාත්මක භාෂාවෙන් යමක් පේ‍්‍රක්ෂකයා වෙත ඒත්තු ගැන්වීමේ සිට දෙබස් ඛණ්ඩ දමා ගසමින් දේශපාලන අදහස් පැටවීම මෙහිදී සිදුවෙනවා. මව්පියන්ගේ බලහත්කාරය යටතේ වැඩුණු කිසිවක් නොදන්නා දැරියකගේ ස්වභාවය නිරූපණය කරන සූසා, එහිදී දේශපාලන සංවාදයේ හුදු අසන්නියක් පමණයි. සියල්ල විග‍්‍රහ කරමින් වීරයාගේ චරිතය උසුලන්නේ ‘මාලක‘ වීම තරමක් කර්කෂ අත්දැකීමක්. ප්‍රෙක්ෂකයාට එහි ඕලාරික බවක් දැනීම වලක්වන්න බෑ.
අපේ කාලයේ තරුණ තරුණියන් අත්විඳින පීඩාකාරී ජීවිතය හා මර්දනය, සමාජ ආර්ථික හා සංස්කෘතික වැට මායිම් නිසා ඇතිවන්නක් ලෙස නිරූපණය කරන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙනවා. වැඩිහිටි පරම්පරාව කල්පනා නොකරන ඉසව්වක් ඔවුන්ගේ ලෝකය ලෙස ප‍්‍රතිනිර්මාණය වෙන නමුත් එයින් ඔබ්බට තාරුණ්‍යය විසින් දරා සිටින නිර්මාණාත්මක ශක්‍යතා සම්බන්ධ කිසිදු ඇගයීමක් නැතිව හුදු යාන්ත‍්‍රික අරමුණු කරා දිවයන තාරුණ්‍යයක් මාලක හා සූසා වෙතින් නියෝජනය වනවා. විශේෂයෙන්ම මොරීන් චාරුනි සහ ඩබ්.ජයසිරි මව්පියන් ලෙස ඉදිරිපත්කරන්නේද තරමක් යාන්ත‍්‍රික නිරූපණයක්.
ඔවුන් මව්පියන් ලෙස තාරුණ්‍යයේ සාමාන්‍ය චෝදනාගාරය වෙත තල්ලූ කිරීමක් බවට පත් වෙනවා. එම චරිතවල සංකේතික අඩංගුව වෙනුවෙන් ඒ බාහිර කර්කෂ දෙබස්, වාද කිරීම් උපයෝගී කරගන්නට ඇති. නවලිබරල් සමාජ ආර්ථික පසුබිමක මධ්‍යම පාන්තික පවුලේ විමුක්ති මාර්ගය, දරුවන්ගේ ආත්මය මැඩගෙන ඔවුන්ගේ කායික හා මානසික නිදහස සමතලා කරමින් වඩා පාරිභෝජනවාදී ඉසව් කරා ඇදී යන්නක්. එහි ඇලී ගැලී වාසය කරන දරුවන් ගමන් කරන්නෙත් ඒ මාවතේමයි. තමන් සිරගතව සිටින බව වටහාගන්නා විට ඔවුන් එහි වන්දිය ගෙවන්නේ කිසිදු ගැලවීමක් නැති බන්ධන රැුසකින් වෙලී ජීවත්වීමට සිදුවීමෙන්.
එහෙත් විමුක්තිකාමී තාරුණ්‍යය පලා යායුතු වන්නේ නවලිබරල් වටිනාකම් විසින්ම උත්පාදනය කෙරෙන හුදු අරාජිකවාදී බොහිමියානු ජීවිතයක් කරාද? සුපිරි වෙළඳසැල්වලින් ඇඳුම් සොරකම්කර ගෙන පලායාමේ සිට සමීප මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරු පැදිය අත්හැර දමා යාම දක්වා සිදුවීම් දාමයක් හරහා සිනමාකරුවා ගෙනහැර පාන ජීවන දර්ශනය, නවලිබරල් ජීවන විලාශයේම අන්තයක්. ඒ ශුන්‍යතාවාදයක් යැයි සිතේ. පේ‍්‍රක්ෂකයා හමුවට එන මේ ගැටුමේ විසඳුමක් ගෙන ඒම කලාකරුවාගේ කාර්යය නොවේ. එහෙත් තාරුණ්‍යය ඇදී යන අරාජික මනෝ ලෝකයක් මෙහි අර්ථකථනය වෙනවා. එයින් සිනමා කෘතියේ තේමාත්මක පරිසරය පටු තැනකට ඇද දමන්නට සමත් වෙනවා.
එක්වරම සූසාගේ සිය දිවි නසා ගැනීමේ මොහොතින් පැන නගින මාලකගේ චරිතය, ඇගේම ආත්මීය අපේක්ෂාවන් නියෝජනය කරනවා යැයි උපකල්පනය කළහොත් මේ සිනමා කෘතිය, එහි තේමාවෙන්ම පෙනී සිටින්නේ අනගි නිර්මාණ කාර්යයක් බවට පත්වීමේ හැකියාවකි. ප‍්‍රබන්ධමය චරිතයක් ලෙස මාලක භාවිත කරමින් යළි යළිත් සියදිවි නසාගැනීමේ ආශයන් සහිත පරම්පරාවක් අප අතර සිටින බව සිනමා කෘතියෙන් කියැවෙනවා. ඔවුන්ට ජීවිතය වින්දනය කිරීමේ මාවතක් අහිමි කළ සමාජ ආර්ථික පසුබිමක ඉතිරි වන්නේ අරමුණක් නැතිව සිය ජීවිත බිලිදීමේ ක‍්‍රියාවකට පමණයි.
එසේ නම් ‘ව්‍යාජ’ අරමුණු වෙනුවෙන් ජිවත් වෙනවාට වඩා විනෝදය, කාලය ගෙවා දැමීමේ මාධ්‍යයක් ලෙස සළකා බලමින් සිනමා කෘතිය අවසන් ඉම කරා ගමන් කරයි. ‘සූස්ති’ සිනමාපටය නැරඹීම, සමාජ කැඩපත අභිමුඛයේ කාලය ගෙවා දැමීමක්, ‘ජීවිතයේ ශුන්‍යභාවය’ පසක් කිරීමක් ලෙස ඒත්තු ගැන්වෙන බව සටහන් කළ යුතුයි.
Comments
Post a Comment