"කාටවත් බෑ "
ගායනය - චමිල මදුෂාන්
සංගීතය - චින්තක ජයකොඩි
පද රචනය - තිසර බණ්ඩාර
සින්දු ගැන කතාබහ කරන මේ තීරුව අපි වෙන් කරන්න හිතුවෙ අලුත් නිර්මාණවලට. ඒ වුණාට සමහර සටහන් කරන්න අතපසු වෙච්ච නිර්මාණයක් එක පාරම විදුලි සැරයක් වගේ වැදිලා අපව ඇහැරවනකොට නොදැක්කා වගේ ඉන්න බැරි වෙනවා. මේ එහෙම නිර්මාණයක්.
‘තාල’ චිත‍්‍රපටයේ අග හරියෙ ඇහෙන මේ ගීතය, කෙළින්ම චිත‍්‍රපටයෙ නිරූපිත අවස්ථාව හා සම්බන්ධ වෙනවා. දුෂ්කර ගම්මානයක දරුවන් පිරිසක් තමන් ඉදිරියට පැමිණි අභියෝග ජය ගැනීමට නැගී සිටින මොහොතක් පසුබිමේ තියාගෙන තමයි මේ ගීතය ඇහෙන්න පටන් ගන්නෙ. චිත‍්‍රපටය ගැන දෘෂ්ටිවාදී ගැටලූ ගණනාවක් මධ්‍යයේ වුණත් මේ ගීතය අදාළ මොහොතෙන් ගලවලා වෙනම සංවාදයට බඳුන් කිරීම වැදගත් කියලා හිතුණා.
විශේෂයෙන්ම මේ ගීතය සිංහල ළමා ගීත වංශයේ අනුස්මරණීය නිර්මාණයක් බවට පත්වීමට අවශ්‍ය සියලූ සුදුසුකම්වලින් සන්නද්ධ බව කිව යුතුයි. ළමයින් උදෙසා සිදුකරන නිර්මාණයන්ගේ පැවතිය යුතු අත්‍යවශ්‍ය නිර්ණායක ආරක්ෂා කිරීමට මේ ගීතයේ නිර්මාතෘවරුන් සමත් වී ඇති බව කිව හැකියි. ඒම නිර්ණායක පිළිබඳ විවිධ අයුරේ මතභේද පැවතියත් ‘ළමා කවිය’ පිළිබඳ කුමාරතුංග මුණිදාස සිදු කළ පහත අර්ථකථනය සෑහෙන තරමේ පුළුල් වපසරියක විහිදෙන සාධක ප‍්‍රමාණයක් ස්පර්ශ කරනවා.
”දරුවන්හට මහත් තැතක් නැතිවමැ වැටහෙන
උන්ගේ හිත් පුබුදුවන ඇ`ගපත නිකම් නටවන
යහළුවන් සමගින් සසඳවන්නට පොළඹවන
උන් කියවනු ඇසූ වැඩිහිටියවුන් පහදවන
විසිතුරු පබැඳුමකි, එවයසට කවියෙක් නම්”
- කුමාරතුංග මුණිදාස , කව් රසය
මේ අතතරින් අපි මෙහිදී ප‍්‍රධාන සාධක තුනක් ස්පර්ශ කරන්න හිතුවා.
1. උන්ගේ සිත් පුබුදවන
2. යහළුවන් හා සසඳවන්නට පොළඹවන
3. උන් කියවනු ඇසූ වැඩිහිටියවුන් පහදවන
අපි තෝරාගන්න නිර්මාණයේ කුමාරතුංගයන්ගේ අර්ථකථනයේ තියෙන සෑම ලක්ෂණයක්ම පවතින නමුත් ඉහත දක්වා ඇති සාධක තුන ගැන සාකච්ඡුා කළ හැකි ඉඩ වැඩිය.
උන්ගේ සිත් පුබුදවන
මේ ‘උන්ගෙ’ කියලා කියලා කියන්නෙ ‘දරුවන්ගෙ’ කියන එක ළමයින් උදෙසා සිදුකරන රචනයකට ඔවුන්ගේ සිත් ප‍්‍රබෝධයට පත් කිරීමේ හැකියාවක් තිබිය යුතු බවයි කුමාරතුංග මුණිදාස සඳහන් කරන්නෙ. හැබැයි මේ පිබිදවීම සාමාන්‍ය ජිවිතයේ නිදා සිටින දරුවකු අවදි කිරීමකට වඩා ගැඹුරු විය යුතුයි. ඒ් කියන්නෙ නිර්මාණකරුවාට දරුවා ආධ්‍යාත්මික වශයෙන් සුපුෂ්පිත කිරීමට (ඉකදදපසබට* හැකි විය යුතුයි.
අද දවසෙ දරුවන්ගෙ වටේ එල්ලලා තියෙන කතිකා ලෝකය තනන්නෙ ගතානුගතික, නීරස, පරාජිත, යාන්ත‍්‍රික, මිනිසෙකුයි. ඇතැම් ජනකතා, පුරාවෘත, පිරුළු, ආප්තෝපදේශ විතරක් නෙවෙයි, සමහර ජනප‍්‍රිය කවි පවා සිදුකරන්නෙ ඒ්ක. ඒ් අර්ථයෙන් මේ ගීතය සරල, දියාරු, සහ කීකරු ලෝකයක ‘දොයි කරවලා’ තියෙන දරුවන්ව නැගිට්ටවන්න සලස්වනවා.
‘අවුරැල්ල
තිබුණට
වැහි බිංදු නැතිදාට
දේදුන්න නෑ
පඩි පෙළක
උඩ පඩිය
යට පඩියෙ, ඇති ගැම්ම
දන්නේම නෑ
උරුලෑවො
යන පාරෙ
ගඳ හින්දා, ඒ පාරෙ
අපි යන්නෙ නෑ‘
මේ කොටස් ගායනා කරන ඒ් ළමා ගායකයාගේ කටහඬෙහි වන ජවය සින්දුවෙන් පස්සෙත් රැුව් පිළිරැුව් දෙනවා. ඒ් ධීර වීර කටහඬ, සැබෑ ළමා ගීතය කියන්නෙ බබ්බු නළවන එක නෙවෙයි කියලා අපට කියා දෙනවා. ඇතැම් ජනකවක සැඟවිලා තිබුණ විභව ශක්තිය මේ ගීතය විසින් අපට යළිත් සිහිපත් කරනවා.
‘ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා’
සාමාන්‍ය සමාජය දරුවන්ට පෙන්වන ලෝකයට වඩා සුසාධිත පරමාදර්ශී ලෝකයක් ගොඩනගාගන්න දරුවන් යොමු කිරීම ඔවුන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍ය කලාකරුවන්ගෙ වගකීම. සම්ප‍්‍රදායික වැඩිහිටි ලෝකය, දරුවන්වත් හිර කරන්න හදන හිරගෙවල්වලින් ඔවුන් මුදවාගැනීම සඳහා පෙළඹුම් ශක්තියක් දරුවා තුළ දරුකල තුළම ගොඩනැගීම වැදගත් වෙනවා. දරුවන්ගේ සිතු පුබුදවන්න ඔන එහෙම ආමන්ත‍්‍රණයකින්. මේ ගීතයේ ඒ ඇමතුම් හඩ තියෙනවා.
‘අපි හිතන
අපි පතන.
අපෙ පාර, අපි අපිම
එළි කරනවා’
යහළුවන් හා සසඳවන්නට පොළඹවන
අද දවසේ දරුවන් යහළුවන් සමග සසඳවන්නට පුරුදු වොල තියෙන්නෙ මොනවද? මධ්‍යම පාන්තික වෙළඳපොළ වටිනාකම් ටිකක් ඒක්ක ඒ ගොල්ලො තනිවෙලා නේද? බ‍්‍රෑන්ඩඞ් සංකේත ලෝකයක ඒ අය තුලනය (දෝලනය?* වෙනවා නේද? ඔව් සිගරට්, අරක්කු නැතත් ඒ අය මත් වෙලා. ඉතින් මේ වගේ වෙලාවක අපට ඔ්න වෙන්නෙ මෙන්න මේ වගේ දරුවන් අල්ලලා හොළවන ප‍්‍රතිඇල්කොහොලික් ළමා සාහිත්‍යයක්, කලාවක්.
සමහරවිට අපි මහත් අභිරුචියෙන් මෙන්ම යහපත් චේතනාවෙන් දරුවන් සමග බෙදා හදාගන්න නිර්මාණවල පවා මේ මත් ගතිය තියෙනවා, අපට පෙනන්නෙ නෑ. ජන කවියක් තරමටම ප‍්‍රසිද්ධ වෙච්ච ආනන්ද රාජකරුණාගෙ ‘රෝස මලේ’ කවිය එබන්දක්.
"රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටූ"
මේ යෙදුමෙ තියෙන සමාජයීය සංඥාකාරක අතහැරලා හිතුවත් සොබාදහම ගැනවත් දරුවා අසත්‍ය ප‍්‍රදානය කළ යුතු නෑ. ඇත්තටම එතකොට ඒක ප‍්‍රදානයක් වෙන්නෙ නෑ. කිසිදු රෝසමලක නටුවෙ කටු නැති බව කියාදුිය යුතු මොහොතක අපි අර පරණ කවියම කියව කියව ඉන්නවා. රෝස මල් වැඩිය කඩන නරක ළමයින්ට පවරලා, නංගියි මායි ගෙඩි දෙකකින් සැනසෙනවා. ඒත් අපේ ගීතයේ රචකයා නම් ඒ්කට ඉඩ තියන්නෙ නෑ.
"මල් නටුවෙ
කටුවලට
පැනි උරන, සමනල්ලූ
බය වෙන්නෙ නෑ"
ගීත රචකයා මල්වලට රෝස කියලා විශේෂයෙන් යොදන්නෙ නෑ. ඒ නිසා දරුවන්ට නටුව කටු තියෙන ඔනම මලක් ගැන හිතාගන්න පුලූවන්. ඒ විතරක් නෙවෙයි, ඒ කටුවලට බය නැති ’සමනල්ලූ‘ ටිකකුත් දරුවා ඉස්සරහා සංකල්ප රූපනය කරනවා. ‘සමනලයා’ කියන වචනය ගැන දරුවන් ඇතිකරන පටු අර්ථ සියල්ලම වගේ මේ ගීතයේ මේ කොටසින් පුපුරවලා දානවා.
යහළුවන් සමග මේ සංසන්දනයට පොළඹවන්න ඔ්න මෙහෙම දේවල් ගැන නේද කියලා ගීත රචකයා, ගායකයගෙ කටහඩ පාවිචිච් කරලා අපෙන් අහනවා.
උන් කියවනු ඇසූ වැඩිහිටියනුත් පහදවන
වැඩිහිටියන් කියන්නෙ වයසින් විතරක් මෝරපු අයට නෙවෙයි. ජීවිතය, මනුෂයත්වය හා සාමජය පිළිබඳ වගකීම් සහත ප‍්‍රවේශයක් තියෙන බුද්ධි ජීවීන් කොට්ඨාසයකට විතරයි ඇත්ත වැඩිහිටියන් වෙන්න පුළුවන්. කුමාරතුංග පවසන ආකාරයටම ළමා කවිය, ය කියවනු අසන ඒබඳු වැඩිහිටියන්ට ද තමන්ගෙ ජිවිතය ප‍්‍රසාරණය කරගන්න අවශ්‍ය කරන රොන් සුනෙන් සංගෘහිතව තිබෙන්න ඔ්න. ලංකාවෙ ළමයින් වෙනුවෙන් නිර්මාණකරණයෙ යෙදුන නිර්මාණකරුවන් එබඳු රොන්සුණු සහිත නිර්මාණ විශාල ප‍්‍රමාණයක් බිහි කරලා තියෙනවා. හැබැයි ඇත්තටම ඒවා දැනෙන්න, අර කලින් කිව්ව තරම් ඇත්තටම වැඩිහිටියන් කියලා හඳුනන්න පුළුවන් වැඩිහිටි සමාජයක් ලංකාවට තිබුණද කියන ප‍්‍රශ්නය තියෙනවා.
ඒ නිර්මාණ වගේම මේ නිර්මාණයත් එහෙම වැඩිහිටි රසිකයෙක් හොයනවා. හොයලා කියන දේ තමයි මේ වගේ හිතන මේ වගේ පතන දරුවන්ගෙ ලෝකයට පහණක් වෙන්න බැරිනම්, එළියක් වෙන්න බැරි නම්, වෙන්න බැරි නම්, ගීයක් වෙන්න බැරිනම්, සුවඳක් වෙන්න බැරි නම් අඩුම තරමෙ වැටකඩොළු නොබැඳ ඉමු කියන එක.
"ආකාසෙ රෑ දිලෙන තරු ගලවලා
ගම්මානෙ හැම තැනම තරු එල්ලලා
අඳුරේ හඩ හිනා මැලවෙලා
කඳුළැල් නිවා ළට එළියක් අරන් එන්නම්
රෑ පානෙ බිම බාන පිණි අහුලලා
මහපොළොවෙ ඉරිතලපු තැන් දෝවලා
ගහකොළට ගෙඩි එන්න ගීයක් ගයා
මඳ සුළඟෙ මුහු වෙමුද සුවඳක් වෙලා"
මේ කොටස් ගායනා වෙන්නෙ අර මුලින් ඇහෙන චණ්ඩි, දඩබ්බර ළමා කටහඬින් නෙවෙයි. සිනමාපටයට අනුව ගත්තොත් මේ තමයි එහි එන වෙනස් ගුරුවරයගෙ කටහඬ. ඒත් සැබෑ වැඩිහිටියයන් දැනගන්නවා මේ කියන්නෙ හුදෙක්ම ගුරුවරයගෙ කාර්යභාරය ගැන විතරක් නෙවෙයි කියලා.
දැන් අපි බෙදාගත්ත කොටස් තුනම ගැන කතා කරලා ඉවරයිනෙ. මේ ගීතය ’තව මොනව හරි කියන්න‘ කියලා අපෙන් ඉල්ලා හිටිනවා වගේ දැනෙනවා. නැත්තං ’තව මොනවා හරි කියන්න තියෙනවා නං හොඳයි‘ කියලා අපටත් දැනෙනවා. ඒ තමයි සැබෑ ගීතයක විදිය.
Comments
Post a Comment