දියවන්නා කුමාරියේ



පදරචනය හා සංගීතය -  ඉරේෂ් වන්නකුකෝරාළ

  ගායනය -  ‘නාද’ සංගීත කණ්ඩායම

පශ්චාත් නූතන ප‍්‍රති-නිෂ්පාදන යුගයේදී සාහිත්‍ය කලා කෘති සම්බන්ධයෙන් මෙතෙක් අධිනිශ්චය වී පැවැති ඇතැම් වර්ගීකරණ නාමමාත‍්‍ර තත්වයට පත්වෙලා. සම්භාව්‍ය - පීචං, ප‍්‍රධාන ධාරාව - විකල්ප ධාරාව ආදී වශයෙන් වූ වර්ගීකරණ තවදුරටත් වලංගු නෑ. නන්දා මාලිනී, සිරස සමග ‘ශ්වේත රාත‍්‍රිය’ ගයනවිට ටිමාගෙ ‘පොඞ්ඩියේ’ වගේ ගීතයක් ‘හිරු ස්ටාර්’ වේදිකාවෙ කුණු කොල්ලයට විකිණෙනවා. වෙළඳපොළ හැර අන් කිසිදු යථාර්ථයක් විශ්වාස කළ නොහැකි මොහොතක සාහිත්‍ය කලාවට සිදුවෙන්නෙ ඒක තමයි. ඒ නිසා, වගකීම් සහගත සමාජ ව්‍යාපාරයක කාරය වෙන්නෙ ඒ ගැන නහයෙන් අඬන එක නෙවෙයි. මේ යුගයේ ප‍්‍රගතිශීලි වාම ව්‍යාපාරයන්ට ඇති අභියෝගයක් වන්නේ ඒ වෙනුවට ඒ නිර්මාණ තුළ සංග‍්‍රහ වී ඇති විසල් ජීවන හා සමාජයීය අපේක්ෂා හඳුනා ගනිමින් එකී අපේක්ෂා පිළිබඳවත් එබඳු අපේක්ෂා යථාර්ථයක් බවට පත්කර ගන්නා ආකාරය සම්බන්ධවත් කලාකරුවා සමඟ මෙන්ම සහෘද රසිකයා සමඟ සංවාදයකට එළඹීමයි. 

‘දියවන්නා කුමාරියේ’ බඳු ගීතයක් පසුගිය කාලයේ බෙහෙවින් ජනප‍්‍රිය වුවද අප වටහා ගතයුතු සත්‍ය වන්නේ එහි අන්තර්ගත සැබෑ ජීවන හා සමාජයීය අපේක්ෂා පිළිබඳ සැලකිය යුතු සංවාදයක් ගොඩනැගී නොමැති බවයි. සැබැවින්ම එවැන්නක් ගොඩනැගේවි යැයි අපේක්ෂාවක් හෝ අප රඳවා ගත යුතු නෑ. 

මේ ගීතය අස්සෙන් අපට ඇහෙන්නෙ විවේචනයක්. ඒක සමාජ විවේචනයක් ලෙස අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මෑත යුගයෙ ලියැවුණ මෙවැනි ගීතවල දක්නට ලැබෙන පොදු ලක්ෂනයක් මේ ගීථයෙනුත් හඳුනාගත හැකියි. ඒ තමයි, ගීතය තුළ විවිධ ක්ෂෙත‍්‍ර විෂයෙහි යොමුවන විවේචන අන්තර්ගතවීම. මීට කාලයකට කලින් මෙබඳු ගීතවල කිසියම් ඒකීය ධාරණාවක් ගැබ් වෙලා තිබුණා. කපුගේගෙ ‘උලලේනෝ’ වගේ ගීතයක් වගේම අජිත්ගෙ ‘ග‍්‍රීස් ගහේ’ වගේ ගීතයකත් මේ ඒකීයබව රැුඳිලා තිබුණා. හැබැයි ‘දියවන්නා කුමාරියේ’ වගේ ගීතයකදි අපට ඇහෙනවා පරිසර විනාශය, විදේශගත ශ‍්‍රමිකයන්ගෙ ගැටලූව, ලිංගික හිංසන, අධ්‍යාපන ක‍්‍රමයේ අර්බුද හා ඊනියා සුචරිතවාදයේ නිරුවත වගේ බහුවිධ තේමා. 

මේ වෙනසට හේතුව මොකක්ද? මීට පෙර යුගයේ ගීතවල කාල රාමුවට වඩා මේ යුගයේ සිංහල ගීතයේ ප‍්‍රසාරණයවීමක් තියෙනවද? ඇත්තටම ගත්තොත් අජිත්ගෙ ‘ග‍්‍රීස් ගහේ’ වගේ ගීතයක් පැතිරෙන කාල අවකාශයවත් අද බිහිවෙන ගීතවල දක්නට ලැබෙන්නෙ නෑ. ඒ වුණාට කියන්න තියෙන දේවල් වැඩි වෙලා. සමාජ පරිහානිය තීව‍්‍ර හා ගැඹුරු වෙලා. කියලා ඉවර කරගන්න බැරි තරම් ප‍්‍රශ්න. 

ගීතය ආරම්භ වෙන්නෙම අතිශය දේශපාලන තේමාත්මකයක් ස්පර්ශ කරමින්. පාර්ලිමේන්තු ප‍්‍රජාන්ත‍්‍රවාදය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබා ගත නොහැකි බව මේ ගීය ලියපු ඉරේෂ් වන්නකුකෝරාළ පෙන්වා දෙනවා. මීට වඩා රළු එහෙත් ප‍්‍රබල විදියට අජිත් මීට කලින් මෙහෙම ලියලා තියෙනවා, කියලා තියෙනවා.

”පාර්ලිමේන්තුව ඇතුළට හඳ පායනවා

සඳ එළියට පිස්සු හැදිලා

බල්ලො බුරනවා

සිංහ පැටව් වාගෙ බුරනවා

බල්ලො හඳට යන්න හදනවා”

පාසල, පාඨශාලාව කියන්නෙ තවදුරටත් ශුද්ධ වස්තුවක් නෙවෙයි. විකිණීම හා මිලදී ගැනීම හැර ඒවායේ තවදුරටත් සාරයක් හොයාගන්න බෑ. පරිසරය විනාශ කරන්නෙ මිනිස්සු නෙවෙයි. ලාභය හැර අන් කිසිවක වටිනාකමක් නොදකින සමාජ ක‍්‍රමය තමයි ඒකට හේතුව කියලා ඉරේෂ් කියන්නෙ උත්පේ‍්‍රක්ෂාලංකාරය භාවිත කරලා. විදේශගත ශ‍්‍රමය හා ලිංගික පීඩාව ගැන කතා කරද්දි රචකයා කිසිසේත්ම සාම්ප‍්‍රදායික සුචරිතවාදී ආස්ථානයට කොටු වෙන්නෙ නෑ. ඒ වගේම ඊනියා සුචරිතවාදී සළු පිළි පැලඳ සමාජයම ¥ෂණයට ලක්කරන්නවුන්ට නින්ද යන්නත් රචකයා ඉඩ දෙන්නෙ නෑ. ඒ වගේම මේ අතරෙ රුවන් බන්දුජීව වගේ කවියකුගෙ ‘මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි’ වගේ කවියක් මතක්කර ගත්තත් බාධාවක් නෑ. 

‘පියවුරු දෙසීයයි

දෙකෙන් බෙදුවම ගෑණු සීයයි

සාදය නන්දනීයයි

මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි’

‘දියවන්නා කුමාරියේ’ ගීතය පුරාම පුනරුක්තියෙන් ගැයෙන එක කොටසක් තිබෙනවා.

‘සුවට නිදන්නේ සිතුවිලි යහනේ

වාමනයන් පවන් සලනවා

නුඹව රකිනවා’

සාමාන්‍යයෙන් වාමන රූප මගින් සංකේතවත් කෙරෙන්නෙ සමාජයේ පීඩිතම ස්ථරයයි. ඔවුන්ගෙ රූපවලින් නිරූපණය වෙන්නෙ විවිධ ඉදිකිරීම්වල බර දරාගෙන සිටින ආකාරය දැක්වෙන ලෙසයි. හැබැයි ඒ රූපවල තියෙන්නෙ සිනහ උපදවන ආකාරයේ විසුළු පෙනුමක්. කෙතරම් බරක් ඔසවාගෙන හිටියත් ඔවුන් ඇතැම් ස්ථානවල උඩැක්කි, බෙර ගසමින් හක් ගෙඩි පිඹිමින් නටා ගයා සතුටින් ප‍්‍රීතිවන අවස්ථා නිරූපණය වෙනවා. 

ඒ තමයි පීඩිතයගෙ ඇත්ත ස්වභාවය සිතුවිලි යහන්වල සුවට නිදන පුත‍්‍රයන්ව කෑ ගසා අවදි කළ යුතු වුවත් මේ පීඩිතයාට එහෙම කරන්න බෑ. මේ පීඩිතයා මුලූ ජීවිත කාලෙම තමන්ගෙ පුත‍්‍රයින් රකිනවා හැරෙන්නට ඔවුන්ට පවන් සලනවා හැරෙන්නට කරන්න පුළුවන් දෙයක් නෑ. කවදා හරි ඒ පුත‍්‍රයන්ටත් වෙන්නෙ පීඩිතයන් වෙලා තම පුත‍්‍රයන් රැුක රැුක ඉන්න. 

ඉතින් මේ ගීතය ඉල්ලා සිටින්නෙ පුත‍්‍රයන්ට ඇත්ත නිදහස! නිදහසේ හුස්ම ගන්න පරිසරය, මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න තියෙන අයිතිය, ගැහැණුන්ට වහල් බවින් මිදෙන්න ශක්තිය, දරු දැරියන්ට අපයෝජනයට ලක් නොවී ඉන්න තියෙන අයිතිය. 



Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?