චූදිතයා ගොදුරක් වූ විට... GYPSY


කුකුළා සහ ජෝකර් වැනි අපූරු සිනමා කෘති සිනමාවට ගෙනා රාජු මුරුගන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ නවමු සිනමා කෘතිය ‘ජිප්සී’ය. සිනමා කෘතියේ කතා පුවත ගොඩ නැගෙන්නේ කාශ්මීරයේ පාකිස්තාන ප‍්‍රහාරයකින් මියගිය හින්දු - මුස්ලිම් යුවළකගේ අනාථ දරුවෙක් වන ජිප්සි නමැති තරුණයා හා සාම්ප‍්‍රදායික මුස්ලිම් පවුලක ගැහැනු ළමයෙක් අතර ඇති වන පේ‍්‍රමය තේමාකර ගනිමින්ය.

මොවුන් දෙදෙනා අතර වර්ධනය පේ‍්‍රමයට ඇති වන්නා වූ බාධා හමුවේ ඔවුහු උත්තර් ප‍්‍රදේශ් වෙත පලා යති. ආගමේ නාමයෙන් සිදු වූ බිහිසුණු කෝලාහලයක් ඔවුන්ගේ ජීවිතවලට ඛේදවාචකයක් රැුගෙන විත්  ඔවුහු වෙන් වෙති. ඔවුන් දෙදෙනා නැවත එකට එකතු වේවිද? නැතහොත් ආගමේ නාමයෙන් ඔවුන්ව සදහටම වෙන් වීමට සිදු වේවි ද? 

මෙම පැනය ඉදිරියේ සිනමාකරු අපව කාශ්මීරයේ සිට කන්‍යාකුමාරි දක්වා අමතක නොවන ගමනක් ගෙන යයි. මෙසේ අපව රැුගෙන යනු ලබන්නේ මනුෂ්‍යත්වයේ සුන්දරත්වය මෙන්ම ආගමික හා ජාතිවාදයේ නාමයෙන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරනු ලබන ප‍්‍රචණ්ඩත්වයේ කෲරත්වය ද පෙන්වමිනි. 

අධ්‍යක්ෂවරයාට මෙම සිනමා කෘතිය කප්පාදුවාර 20කට වඩා සිදු කරන්නට සිදු විය.ඒ වාරණ මණ්ඩලයේ නියෝග මතය. එසේම කැරලි කෝලාහලවල ස්වරය වර්ණයෙන් කළු-සුදු ලෙස වෙනස් කරන ලෙස වාරණ මණ්ඩලය මෙහි අධ්‍යක්ෂ රාජු මුරුගන්ගෙන් ඉල්ලා ඇත.

සිනමා කෘතියේ සෑම සිදුවීමක්ම ඉතාමත් සුපරික්ෂාකාරීව භාවිතා කරනු ලබන සිනමාකරු සිනමා කෘතියෙන් මූලිකව ජාතිවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් අන්ධ වූ පිරිස් ආමන්ත‍්‍රණය කරන අතරම කාන්තා පීඩනය, කුල පීඩනය, පංති විෂමතාව ආදී සාමාජයේ විවිධ පැතිකඩ ද ආමන්ත‍්‍ර‍්‍රණය කිරිමට උත්සාහ දරනු පෙනේ. 

සිදුවන්නට යන යමක් ගැන ඉ`ගියක් පේ‍්‍රක්ෂකයාට ලබා දෙමින් සිනමා කෘතිය ආරම්භ වීමට පෙර (කිසිදු දර්ශනයක් දිස් වන්නට පෙර - බිහිසුණු යුද්ධයක හඩක් පසුබිමෙන් ඇසේ. කුතුහලයෙන් යුතු පේ‍්‍රක්ෂකයාට ඉන් අනතුරුව දැක ගන්නට හැකි වන්නේ යුද්ධය නිසා අනාථ වන කුඩා දරුවෙකි.

මේ කුඩා දරුවා හදාවඩා ගනු ලැබූ ‘සීනියර්’(ලොක්කා) විසින් ජිප්සිව හඳුන්වා දෙනු ලබන්නේ ‘ඉන්දා බූමියන් පදගන්‘ (ලෝකයේ ගායකයා) ලෙසයි. කුඩා කාලයේ ඔහුගේ ජිවිතය හැඩ ගැසෙනුයේ් සෑම සංස්කෘතියකම ආභාසය ලබමින්ය.

ජිප්සි හදාවඩා ගනු ලැබූ සීනීයර් මිය යන අතර ඉන් පසු ඔහුගේ ජීවිතයේ හැරවුම සනිටුහන් වන්නේ වහීදා හමු වීමත් සම`ගය. වහිදාගේ පියා මුස්ලිම් ආගමික මූලධර්මවාදියෙකි. එබැවින් වහීදා මෙන්ම ඇගේ සහෝදරියන්ද විශාල පීඩනයකට ගොදුරු වේ. වහීදා තුළ වූ පීඩනය අපුර්ව ලෙස නිරුපණය කරනු ලබන දර්ශන තලයක් සිනමා කෘතියේ හමුවේ. ඒ ඇය නිවසේ ගෙට්ටුව තුළින් ජිප්සි විනෝද වෙන අයුරු බලා සිටිනා දර්ශනයයි. එහිදී ඇයව පේ‍්‍රක්ෂකයාට දිස්වන්නේ සිර මැදිරිය සිටින සිරකාරිනියක් ලෙසිනි. එසේම ඇය ජිප්සි සම`ග නිවස අතහැර පලා යාමට පෙර ඇයගෙන් එන නිහඬතාව ඇගේ ජීවිතයේ පැවැති පීඩනය නිරූපණය කිරීමට තවදුරටත් සමත් වේ.

ඇලන් බදියු නම් දාර්ශනිකයා පැවැසුවේ පේ‍්‍රම කිරීමේදී දෙදෙනා දෙදෙනෙක් බව අවබෝධ කර ගැනීම පේ‍්‍රමයේ මූලිකාංගයක් බවයි. තමන් ආගමානුකූලව විවාහ කරගන්නැයි වහීදා ඉල්ලීම් කරන විට නිරාගමිකයෙකු වන ජිප්සි, ඊට එක`ග වන්නේ වහීදාව මනා ලෙස අවබෝධ කර ගනිමිනි. 

සිනමා කෘතියේ සෑම දර්ශනයක්ම ඉතාම අරපරිස්සමින් භාවිත කරන අධ්‍යක්ෂවරයා මනුෂ්‍යත්වයට එරෙහි සියලූ රේඛා මායිම් සලකුණු පේ‍්‍රක්ෂකයා තුළින් මකා දැමීමට භාවිත කරනු පෙනේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර කි‍්‍රකට් තරගයේදී ජිප්සි දෙපාර්ශයේම දක්ෂතාවලට ප‍්‍රතිචාර දක්වන ආකාරයෙන් මෙන්ම වහීදාගේ පියා ජිප්සිගේ කුලය ගැන විමසන විට ඔහු ප‍්‍රතිචාර වශයෙන්, ”මාධම් පිඩිකාධා මනුෂ ජාදි (ආගමක් නැති මිනිසකු)” යනුවෙන් පැවසීම සිනමාකරු මනුෂ්‍යත්වයට එරෙහි සියුම් පැන්සල් ඉරි මකා දැමීමට ගත් උත්සාහයක් බව පෙනී යයි.

සිනමා කෘතියේ පුපුරායාම සිදු වන්නේ හින්දු ආගමික දේශපාලකයෙක්ගේ බසට ගොදුරු වූ කුල පීඩිත නූගත්  හින්දු භක්තිකයන් ආගමේ නාමයෙන් මිනිස් සංහාරයක් සිදු කරනු ලැබීමත් සමගය. එයට වහීදා හා ජිප්සි ද ගොදුරුවන අතර පොලීසිය විසින් මිනිස් සංහාරයේ වරද පටවන්නේ ජිප්සි ඇතුළු  පිරිසක් මතය. අවසානයේ ජිප්සිට වසරක සිර දඩුවමකට ලක් වීමට සිදු වේ.

වහීදා කෲර ඉරණමකින් බේරා ගනු ලබන්නේද මනුෂ්‍යත්වය අවදි වූ හින්දු භක්තිකයෙක් විසින්මය. වහීදාවගේ ජීවිතය බේරා ගත් හින්දු ආගමිකයා වහීදාව ඇගේ පියාගේ නිවසට ගෙනත් ඇරලවමින් පවසන්නේ ‘දුවගේ ජීවිතය බේරාගනු ලැබුවේ කාසි විස්වනාත් දෙවියන් තමයි’ කියාය.

මිනිසා තුළ පවතින සියලූ මානුෂිය ගුණාංග දෙවියන් මත පවරා මිනිසා මානුෂීය නොවූ ගුණාංග මිනිසුන් තමත් වෙත පවරාගෙන ඇත. සැබැවින්ම වහීදාව බේරා ගනු ලැබුවේ කාසි විසවනාත් දෙවියන්ද? ඇය බේරා ගනු ලැබුවේ සැබැවින්ම මනුෂ්‍යත්වය පිරි ඔහුම නොවේද? සිනමාකරු සියුම් ලෙසින් පවසනුයේ එයයි.

සිර දඬුවම් අවසානයේ නිදහස් වන ජිප්සි, වහීදාව සොයා යන අතර බොහෝ වෙහෙස මහන්සි වී සොයා ගැනීමෙන් පසු ඈ මුහුණු දුන් බිහිසුණු  අත්දැකීම් හේතුවෙන් කම්පනයට පත් වේ. වසරක් සිය බිරිඳ පිළිබදව සොයා නොබැලූවහොත් දික්කසාද විය හැකි බව පවසා වහීදා හා ජිප්සිව දික්කසාදය කිරීමට වහිදාගේ පියා උත්සාහ කරනු ලබන අතර ජිප්සි පවසනුයේ එය මුස්ලිම් චරිත‍්‍රානුකූලව සිදු කරන ලෙසයි. ඒ අනුව කුරාණ නීතිය අනුව තලාක්(මෙය තුන් වරක් කියු විට දික්කසාදය හිමි වේ) දීමට ජිප්සි එකග වේ.

ජිප්සි සිතනුයේ තමාට හා වහීදා අත් වූ ඉරණමට වගකිව යුත්තේ වහීදාට පහර දීමට පැමිණි පුද්ගලයා බවය. ඔහුව ලූහුබැඳ යාමෙන් අනතුරුව දැක ගැනීමට ලැබෙන්නේ දෑත් අහිමි වූ මිනිසෙකි. පසුව ඔහුගේ නිවසට යන ජීප්සිට දැක ගැනීමට හැකි වන්නේ අහිංසක දරු පවුලකි.

කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරයා ඔහුට සැබෑ ප‍්‍රශ්නය මුණ ගස්වමින් කියා සිටින්නේ ”කව්ද මේක කළේ, ඇයි මේක කළේ? ඒ ගැන හිතන්න සහෝදරයා” කියාය. ඔහු පවසන්නේ ”ඒකා තමා  අපේ සතුරා!” කියාය. කුලය, ආගම, බඩගින්න, වේදනාව ධනවාදයේ පැවැත්මට යොදා ගනිමින් තම බල දේශපාලන වුවමනා වෙනුවෙන් සැබෑ ප‍්‍රශ්න යට ගසනු ලබන සැබෑ සතුරාට එරෙහි ඔහු සටන් කිරීම අරඹන්නේ ඉන් අනතුරුවය.

ඒ සඳහා ජිප්සිට උපකාර කිරීමට ද ඔහු ඉදිරිපත් වේ. වර්ගවාදයේ, ජාතිවාදයේ බිහිසුණු බව මිනිස් හදවත් ආමන්ත‍්‍රණය කිරීම සදහා ජිප්සිගේ ගායන හැකියාවද උපයෝගි කරගනිමින් ඔහු විසින් ප‍්‍රසංගයක් සංවිධානය කරනු ලබයි.

කුලය, ආගම, බඩගින්න, වේදනාව ධනවාදයේ පැවැත්මට යොදා ගනිමින් තම බල දේශපාලන වුවමනා වෙනුවෙන් සැබෑ ප‍්‍රශ්නය යට ගැසීමට ආගම භාවිතා කිරීම ඉන්දියාවට පමණක් ලඝු වූ කාරණයක් නොවන බව ජිප්සි ගායනා කරයි. ඊට සමාන්තරව විවිධ රාජ්‍යයන්හි සිදුවන වාර්ගික හා යුද ගැටුම් හේතුවෙන් මිය ගිය මිනිසුන්ගේ ඡුායාරූප පෙන්වීම මගින් සිනමාකරු ප‍්‍රශ්නයේ ගෝලීය ස්වරූපය අනාවරණය කරනු ලබයි. මෙම ප‍්‍රසංගය බෙහෙවින් ජනප‍්‍රිය වන අතර ඒ සම`ගම ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ සමාජ කැළඹීමක් ඇති කරන අයුරින් හැසිරුණු බවට චෝදනා කරමිනි.

මේ වනවිටත් ‘තලාක්’ දෙකක් ලබා දී තිබූ ජිප්සී අවසාන ‘තලාක්’ වචනය ලබා දීමට ඔහුගේ ප‍්‍රසංගයට එන ලෙසින් වහීදාගේ පියාට දැනුම් දේ. ප‍්‍රසංගයේදී වහීදාට පහර දීමට සැරසුණු මිනිසා එකම වේදිකාවක් මතදී මුණගැස්සවීමට ජිප්සි විසින් කටයුතු සලස්වයි. ප‍්‍රසංගය අවසානයේ දී ‘තලාක්’ එක දීමට යාමේදී වහීදා ප‍්‍රකෘතියට පත්ව ජිප්සි වෙත පැමිණීමෙන් සිනමා කෘතිය අවසන් වේ.

මනුෂ්‍යත්වයට ඔබ්බෙන් වූ කිසිදු පාරිශුද්ධත්වයක් නැත. ආදරය තරම් වූ දිව්‍යමය ලැබීමක්ද නැත.

ජිප්සි සිනමා කෘතිය අපගේ හදවතට තට්ටුකර පවසනුයේ එයයි.



Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?