ව්‍යසනයට සිනමා අර්ථකථනයක්... Contagion



අනාගතය ගැන පුරෝකතනය කිරීම දෛව්‍යඥයන්ගේ කාර්යයක් ලෙස අප වර්ග කොට ඇත. නමුත් තියුණු සමාජ කියවීමක් ඇති නිර්මාණකරුවෙකුට වර්තමානය තුල අනාගතය ප‍්‍රතිනිර්මාණය කිරීමට තිබෙන හැකියාවට කදිම උදාහරණයකි Contagion. පළමුවරට මෙම චිත‍්‍රපටය නරඹන්නකුට එය ලෝක ව්‍යාප්ත වසංගතයක් පිළිබදව හැදුණු තවත් එක් චිත‍්‍රපටයකි. කි‍්‍රයාදාම ස්වරූපයේ සහ කුතුහලය දනවන අද්භූත සිදුවීම් ඇතුළත් මෙම තේමාවේ මීට වඩා සාමාන්‍ය පේ‍්‍රක්ෂකාගාරය ආකර්ෂණය කළ හැකි චිත‍්‍රපට ඇති බැවින් එහි කිසිදු විශේෂත්වයක් නොමැති විය. නමුත්අද අප අත්විදින අත්දැකීම් සමග නිර්මාණකරුවා එතෙක් වර්තමාන සමාජය අත්විද නොතිබූ අර්බුදකාරී  වටපිටාවක සමාජය කෙසේ හැසිරෙනු ඇත්දැයි පුරෝකතනයකර තිබෙන ආකාරය විශිෂ්ඨය.

ආරම්භයේ සිටම සමීප රූප රාමු මගින් ආසාදිතයෙකු විදුලි සෝපාන බොත්තම්, දොරවල් ආදිය ස්පර්ශ කරන ආකාරය දැක්වීම තුලින් එම වසංගතය ව්‍යප්ත වන අකාරයත් එහි ඇති අවදානමත් දැක්වෙන අතර එම රූප රාමුවලට නිසි පරිදි සංවේදීවූයේ මෙම වසංගත තත්වයට සැබෑ ලෙස අභිමුඛවීමෙන් පසුව යැයි හැගෙයි. චිත‍්‍රපටය ආරම්භවන්නේ වසංගතය ව්‍යාප්තවීම ඇරඹී 2 වන දිනයේ සිටය. එතැන් පටන් එකින් එක දින ගෙවන ආකාරය චිත‍්‍රපටය ලෙස දිගහැරෙයි. චිත‍්‍රපටය අවසන් වන්නේ නැවතත් පළමු දිනයෙන් වන අතර ඒ තුල පේ‍්‍රක්ෂකයාට අවසානය දක්වා ප‍්‍රශ්නයක් ඉතිරි කරයි. එක් කතා මූලාශ‍්‍රයක් මත මුල සිට අගට දිවෙන චිත‍්‍රපටයක් නොවන අතර වසංගතයට ඇමරිකානු සෞඛ්‍ය අංශ මුහුණ දෙන අකාරය දැක්වෙන අතර ලෝකය ගලවාගන්නා සුපිරි ඇමරිකානු වීරයෙක් කතාව තුල නොවූවද ඇමරිකානු ධනේශ්වර දේශපාලන අධිකාරියේ හැසිරීම නිසි ලෙස ආමන්ත‍්‍රණය නොකර චිත‍්‍රපටය තුළ එය මගහැර යයි.
ලොවකට එරෙහිව යුධ කිරීමට යුධ ආයුධ ගබඩා කරගෙන සිටින ඇමරිකාව මිය යන පිරිස එතීමට යොදාගන්නා ආරක්ෂිත කවර පවා නොමැතිව අපහසුතාවයට පත්වෙයි.

රෝගයට ගොදුරුවන ආසාදිතයින්ට තම සිරුරේ උණුසුම රැක ගැනීමට පොරෝනා හෝ ලබා දීමට නොහැකිව සෞඛ්‍යසහායකයින් අසරණ වෙයි. අද වන විට මෙය චිත‍්‍රපටයක හුදු ප‍්‍රබන්ධයකින් වෙනස්ව සැබෑ ලෝකය තුළ අප අත්විදියි. මියයන අසාදිතයන්ගේ සිරුර බැහැර කිරීමට හෝ නොහැකිව ලොව දියුණු යැයි සම්මත රටවල් අසරණවන ආකාරය අප අත්දුටුවෙමු. එහි පුදුමයට කරුණක් නැත, සෞඛ්‍ය පහසුකම් සැපයීම වෙළද ව්‍යාපාරයක්වූ විට ‘ඉල්ලූමට’ අනුව ‘භාණ්ඩ‘ සපයා ලාභ සොයනු විනා ජනතා යහපත වෙනුවෙන් ඖෂධ ගබඩා කරගනිමින් සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ව්‍යාපාරිකයින්ට අවශ්‍ය නොවන අතර ඔවුන්ගේ දේශපාලනික මුහුණත වන දේශපාලන අධිකාරියටද එවැනි අවශ්‍යයතාවයක් නොමැත. එවන් වාතාවරණයක අපට අසන්නට දකින්නට ලැබෙන දෑ අනිවාර්ය යථාර්තයන් විනා පුදුම වන්නට දේවල් නොවෙයි.
චිත‍්‍රපටය තුල අපට සමාජජාල මාධ්‍යවේදියෙකු හමුවෙයි. වෙළදපල සමාජයක මිනිසාගේ යථාර්තය ඔහුගෙන් අප හමුවට පැමිණෙයි.

වසංගතයට පෙර අසාර්ථකව සිටින ඔහු වසංගත තත්වය තුල එයට ඖෂධයක් සම්බන්ධ ව්‍යාජ වීඩියෝ සාදමින් ඒ මොහොතේ භීතියට හා කම්පනයට පත්ව ඇති මිලියන ගණනක් සමාජජාල භාවිතා කරන්නන් තම නාළිකාව වෙත අකර්ෂණය කරගන්නේ චිත‍්‍රපටය අවසානයවන විට ඔහු මිලියනපතියෙකු බවට පත්වෙමින්ය.
ඔහුට වරෙක ප‍්‍රකාශ කරන්නේ යුරෝපයේ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් බොහෝ දෙනෙකු මියගිය නමුත් ඉතිරිවූ පිරිස මිනීපෙට්ටි විකිණීම ආදියෙන් ධනවත්වූ බවයි. එක් අයකෙුගේ මරණය තවත් කෙනෙකුට වාසනාව ගෙන ආ බවය. ඔහුගේ ප‍්‍රකාශයන් නිසා ජනතාව පොරකමින් ව්‍යාජ බෙහෙත් ද්‍රව්‍ය මිළදී ගැනීමට පෙළඹෙයි. ව්‍යසනයක් තුල හෝ තම ලාභ අරමුණු වෙත යන්නට මාවත් සොයන එම මාධ්‍යවේදියාගේ චරිතය සැබෑ ලෝකය තුළද අපට මේ දිනවල හමුවෙයි.

වරෙක ඔහු රු. 50 ක මුව ආවරණ රු. 500ට 1000ට විකුණන ඖෂධ සැල් හිමියෙකු ලෙස පැමිණෙයි. තවත් වරෙක ඉතා අඩු මිළකට කල හැකි ඡුක්‍ඍ පරීක්ෂණ රු. 17000 ක් වැනි ඉහළ මිළකට කොට සිය ලාභය ඉහළ දමාගැනීමට උත්සහ දරණ පෞද්ගලික රෝහල් ජාලයක් හිමි ධනවත් ව්‍යාපාරිකයකු ලෙසින් අප හමුවෙයි, නැතිනම් ධනවත් ව්‍යාපාරිකයන්ගේ වෙනුවෙන් කම්කරුවන්ගේ ජීවිත අවදානමේ දමමින් කර්මාන්ත ශාලා පවත්වාගෙනයන හෝ යෑමට තැත්කරන ජනාධිපතිවරයකු, අගමැතිවරයකුගේ ස්වරූපයෙන් ඔහු අපට හමුවෙයි.



මෙම රෝගයේ මූලාරම්භය සෙවීමට වසංගත රෝග විශේඥවරියක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් හොංකොං බලා පැමිණෙයි. ඇයට මගපෙන්වන හොංකොං හි නිළධාරියා ජීවත්වන ගම්මානවලටද වසංගතය පැතිරෙන අතර ගම්වැසියන් ප‍්‍රතිකාර හෝ තමන්ට සිදුවන්නේ කුමක්ද කියා හෝ නොදැන සමූහ වශයෙන් මියයන අතර කුඩා දරුවන් ඇතුළු සුළු පිරිසක් ඉතිරිවෙයි. ඒ වන විට මෙම වෛරසයට ප‍්‍රතිජීවකයක් ලොව දියුණු රටවල විද්‍යාගාරවල වැඩිදියුණු වෙමින් පවතින බව හොංකොංහි එම නිළධාරියා දැනගන්නා අතර ඔවුන් තේරුම් ගන්නා යථාර්තය නම් එම ඖෂධය එම ලොව වෙනත් කොනක තිබෙන දුප්පත් ගම්මාන වෙත කිසිදා ළගා නොවීමට හෝ ළගාවුවද ඒ වන විට ඉතිරි ගම්වැසියන් බොහෝ දෙනෙකුද අනිවාරයෙන් මියගොස් තිබිය හැකි බවයි.
ඒ අනුව ඔවුන් එම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය ප‍්‍රාණ ඇපයට ගනු ලබන්නේ තම ගම්මානයට අවශ්‍යය ඖෂධ සමග හුවමාරු කර ගැනීමටය.
සැබෑ ලොව තුලට අප නැවත පැමිණිය හොත් ඉතාලිය තුල කොරෝනා නිසා වැඩිම තර්ජනයකට ලක්ව ඇත්තේ Lombardy නම් ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවල සේවය කරණ කම්කරුවන්ය. ඇමරිකාව තුළද කළු ජාතිකයන්ගේ මරණ ප‍්‍රතිශතය ඉහළ යැයි වාර්තා වන අතර එහි පිටුපස ඇති යථාර්තය නම් එම ජාතිකයන් බහුතරය දිළිදු ඇමරිකානු ප‍්‍රජාව නියෝජනය කිරීමයි.

මෙය ලොව සෑම තැනකටම පොදුය. එය කොරෝනා රෝගයට විශේෂ තත්වයක්ද නොවේ. ලොව පුරා සෑම වසරකම මිලියන ගණන් මිනිසුන් සුවකළ හැකි ඖෂධ සහිත රෝග වලින් නිසි ඖෂධ නොමැති කමින් මියයයි. ඒ ලොව පුරා ව්‍යාප්ත ත‍්‍රස්තවාදයක ස්වරූපය ගත් ඖෂධ වෙළදාම නිසාය. එක් අතකින් මෙම මරණ හුදු රෝග යකින් මියයෑමකට වඩා අනියම් ආකාරයක මිනීමැරීම් ලෙසින් හැදින්වූවාට වරදක් නැත.
Contagion චිත‍්‍රපටය මෙන්ම ඊටත් වඩා යථාවත්ව කොරෝනා වසංගතය අප ජීවත්වන සමාජයේ අසමත්භාවය ලොව හමුවේ සනාථ කරමින් පවතී. අප ලොව දෙස බලන ආකාරය වෙනස් නොවුනහොත් Contagion හි අවසානයට වඩා බියකරු අවසානයකට ලොවක් සමාජයක් ලෙසින් අපට මුහුණ දීමට සිදු වනු ඇත.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?