‘මේ සියල්ල පුපුරනා කාලයක්’ - තිළිණ බ්ලිස්



අපි මේ තීරුවට නම දැම්මෙ Song Box කියලා. හැබැයි ඒ නම ගොඩක් පරණයි කියලා හිතුණෙ මෙවර හඳුන්වාදෙන්න බලාපොරොත්තුවන නිර්මාණය ශ‍්‍රවණය කළාම. ඇත්තටම සින්දුවක් කියන්නෙ මොකක්ද? අපි මුලින්ම සිංදුව එහෙම නැත්නම් ගීතය කියන එකේ අර්ථ නිරුක්තිය හොයමු. වෙබ්ස්ටර් ජාත්‍යන්තර ශබ්ද

කෝෂයට අනුව, song යන්න පැරණි ඉංග‍්‍රීසියෙහි singan යන්නෙන් ප‍්‍රභවය වූවක්. එහි තේරුම ගායනය කිරීම යනුයි. එහි විශේෂත්වය වන්නේ කිසිවකුගේ කටහඬක් (voice) උදෙසාම නිර්මාණයවීමයි.

1 The rendering of vocal music, more widely: any melodious utterance

2. A music composition for the voice or for several voices

මේ අර්ථ දෙකෙන් මෙන්ම බි‍්‍රටැනිකා විශ්වකෝෂය song යන පදයට ලබා දී ඇති අර්ථයෙන් ද එය තහවුරු වෙනවා.
"Piece of music performed by single voice, with or without instrumental accompaniment"
 මේ මොහොතවන විට ගීතය යනු හුදෙක් ‘කටහඬක්’ පමණක බවට පත් වී තිබෙනවා. මං කියන්නෙ මේ මොහොතවන විට ‘ගීතය’ ලෙස අධිනිශ්චය වී ඇති form එක ගැන. ඒක දැන් අන්තර්ගතයෙන් (content) තොර හිස් හඬක් පමණක් බවට පත්වී තිබෙනවා. එක්කෝ ගීතය නමැති ශානරය මින් මුදවා ගත යුතු වෙනවා. නැත්නම් ගීතයට එහෙමම විනාශ වෙන්න දීලා අලූත් ශානරයක් සකසා ගන්න වෙනවා. ප‍්‍රාග්ධනය හා වෙළඳපොළ විසින් මෙහෙයවන සමාජයක මේ වගේ ශුද්ධ වස්තූන් දියවී යාම අප බලාපොරෝත්තු විය යුත්තක්.

එනිසා ගීතයේ කඩා වැටීම සම්බන්ධයෙන් කම්පාවීම විප්ලවීය ව්‍යවහාරයක් නෙවෙයි. ඒ වෙනුවට අප උනන්දු විය යුත්තේ වෙනස් වේදිකා හෝ වෙනත් ආකෘති ගවේශනය කිරීමටයි. තිළිණ බ්ලිස් (Thilina Blyz) විසින් රචනාකර සංගීත නිර්මාණයකර ගයන, ‘මේ සියල්ල පුපුරණා කාලයක්’ එහෙම භාවිතයක් (application). දැන් මේ ලිපිය කියවන එක නතර කරලා ඒ මහන්සියට සවන් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. "https://soundcloud.com/thilina-blyz/me-siyalla-pupurana-kalayak-thilina-blyz" කියන ලින්ක් එක ඔස්සේ ඔබට මේ නිර්මාණය ශ‍්‍රවණය කළ හැකියි. Headphone එකක් නැත්නම් handsfreeඑකක්වත් මේ සඳහා භාවිත කරන්න පුළුවන් නම් තමයි හොඳ.

අර සම්මත ගී රසවින්දන ඉදිරිපත්කරන මධ්‍යම පාන්තික බාබාලා වගේ මේ නිර්මාණයෙ පද අතර කියවීමක් කරන්න මෙහිදී බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වගේම ඒ රසවින්දන අහන්න රොක්වන සංවේදී මධ්‍යම පාන්තික පේ‍්‍රක්ෂකාගාරයට මේ වගේ නිර්මාණ ගැලපෙන්නෙත් නෑ. මොකද මේ කෘතියෙන් සංවාදයට බඳුන්වෙන්නෙ ඔය කියන සංවේදී බබාලා ටික එකතුවෙලා හදලා තියෙන ලෝකය කොයි වගේ එකක්ද කියන එක. මව් ගුණ තොරොම්බල් කර කර ගමට යන, ගමේ අනාථකරලා දාල ආව පෙම්වතිය ගැන බොරුවට වැළපෙන අතරේ ‘බුදුසාදුගෙ‘ ගුණ සිහිකරලා නිවන් දකින්න හදන පේ‍්‍රක්ෂකාගාරයකට මේ නිර්මාණය දරාගන්න බෑ. අන් ඒක ඉස්මතු කරන්න  ඕන නිසා මේ විදියට මේ නිර්මාණයේ පද රචනාව පළ කරන්න අපි තීරණය කළා.

ඇවිදිනා මළමිනිස් වේශයක්
අතීතකාමය ගෙන දෙනා ක්ලේශයක්
දුගී සිතිවිලිත් පුබුදිනා ආලයක්
මේ සියල්ල පුපුරණා කාලයක්

තරුණයන් යුද්ධයට පොළඹවන සිහිනයෙන් උමතු වූ
මළකුණත් විකුණනා දේශයක් ගොඩනැගූ අමනයන්
රාශියක් එකතැනට එකතු වී කරන වැඩ ගැන දැනදැනත්
බැති සිතින් දන නමයි අහෝ මේ ලැජ්ජා නැති ජාතියක්

මේ සියල්ල පුපුරණා කාලයක්
ද්වේශය පුපුරණා කාලයක්
ආලයත් පුපුරණා කාලයක්
නැගිටින්න මේ පුපුරණා කාලයක්
මේ සියල්ල පුපුරණා කාලයක්
මේ සියල්ල පුපුරවන කාලයක්

ඔබට දැන් තේරෙනවා ඇති පද අතර කියවීමයි, පේළි අතර කියවීමයි අතර වෙනස. මෙහි පද, අපට පද අපට පද අතර සම්බන්ධය කියවීමට බාධා කරනවා. ඒ වෙනුවට පේළි අතර කියවීමට එය ආරාධනා කරනවා. වෙනත් විදියකට කියනවා නම් ගීතය සම්බන්ධයෙන් අති සම්ප‍්‍රදායික අදහසක්වන ‘සුගමවාදය‘ (understandability) මින් අභියෝග යට ලක් වෙනවා. ‘ගීතය’ අසන මොහොතෙහිම වැටහී යායුතු හුරුබුහුටි යමකි’ වැනි අදහසක් එක්ක මේ වැඬේ කරන්න බෑ.

කියන දේ තේරෙන්න නම් අඩුම තරමෙ පේළි හතරක් කියවලා ඉවර වෙනකං එක හුස්මට අහගෙන ඉන්න වෙනවා. එකම පේළි හතරෙ කොටස් තුන හරියටම ඒ විදියට ඇහුවෙ නැත්නම් නිර්මාණය අහලා ඉවර වෙද්දි ඔබට මතක තියෙන්නෙ ‘මේ සියල්ල පුපුරණා කාලයක්’ කියන යෙදුම විතරයි. හැබැයි ඔබ හරියට ඇහුවොත් ඔබට ඇහෙන්න ගන්නවා මේ පුපුරන්නෙ කවර වර්ගයේ කාලයක්ද කියන එක. කාලය පිළිබඳ අදහස සිංහල ගීතයේ එතරම් තදින් තහවුරු වෙච්ච සංකල්පයක් නෙවෙයි. තහවුරු වෙලා තියෙන ගීතවලත් අපට හම්බ වෙන්නෙ සුන්දර අතීත කාලයක්. හැබැයි මේ ගීතයෙදි අපට හමුවෙන්නෙ පිපිරිය යුතු වර්තමාන කාලයක්.

පේලි හතරෙ කොටස් තුන අවසන් වුණාට පස්සෙ අන්තිමට අහන්න ලැබෙන්නෙ අප බලාපොරොත්තු වෙච්ච පාඨය නෙවෙයි. ස්ථායි හා අන්තරා කොටස් දෙකකින් යුත් ඉතාම ස්ථාවර විනීත ආකෘතියක් අස්සේ ලංකාවෙ සින්දු අහලා හුරු පුරුදු ශ‍්‍රාවකයාට ඒ අන්තිමට කියන පාඨයේ වන වෙනස නෑසී යන්න පුලූවන්. ඒකට හේතුව මේ නිර්මාණය ඇහෙන්න ඉඩ දීලා අහන්න උත්සාහ නොකරපු ශ‍්‍රාවකයාට ‘පුපුරණ’සහ ‘පුපුරවන’ කියන එක අතර තියෙන පරතරය තේරුම්ගන්න බැරිවීම.

මේ සියල්ල පුපුරණා කාලයක් මෙන්ම පුපුරවන කාලයක් බව පමණක් නෙවෙයි, ‘මේ සියල්ල පුපුරවන කාලය’, ‘පුපුරවන්න නියමිත කාලයක්’ බවද ඉන් හැ`ගවෙනවා. කොහොමත් අපට ඇහෙන තිලිණගේ කටහෙඬ් එතරම් පශ්චාත්තාපයක් දැනෙන්නෙ නෑ. අපිට ඇහෙනවා ක්‍රෝධයක් සමග මුහුවෙච්ච හාස්‍යයක්. පරණ රසවාදයට අනුව මේ දෙක එකට ගැළපෙනවද මන්දා? (සභාවේ සිනා) අපට නන්දාගේ ‘පවන’ කැසට් පටයේ කටහඬ හා සංගීත භාවිතය සිහි ගන්වනවා. අදට ගත්තත් ‘පවන’ කියන්නෙ හුදු විරෝධාකල්පයක් නෙවෙයි. ඒක විරෝධය හා සංගීතය යන්න අතර පවත්වාගත යුතු සම්බන්ධතාවය පිළිබඳ ලංකාවෙ මෙතෙක් බිහිවී ඇති විශිෂ්ටතම පර්යේෂණයක් ලෙස අදටත් හඳුන්වන්න පුළුවන්.

තිළිණ කටහඬ මෙන්ම සංගීතය භාවිතා කරලා තියෙන්නෙ එබඳු පර්යේෂණයක් කියන එකයි අපේ හැගීම. ඒ විතරක් නෙවෙයි. තිළිණ මේ ‘භාවිතය’ අප වෙත ගෙන එන්නේ studio එකක් ඇතුළෙ නෙවෙයි.

තමන්ගෙ ගෙදර බිත්තවලට එපිටින් ඇහෙන බාහිර සද්ද දාහක් අස්සෙ වුණත් කරන්නම  ඕන නම් කරන්න පුළුවන් කියලා තමයි තිළිණ මේ පෙන්වන්නෙ. Sound Cloud වගේ app එකක් හරහා online platform එකක් මගින් උද්යෝගීවන්තයෙක් (enthusiast) සොයාගැනීම හා එබන්දෙකු සිටිනවා නම් ඔහු දියුණු කිරීම තමයි තිළිණගේ අරමුණ.

තිළිණගේ application එකේ කලාත්මක පක්ෂයට අමතරව මෙහෙම කරුණු ටිකකුත් කිව්වෙ ඔහුගේ මේ ‘භාවිතය’ මගින් අංශ ගණනාවකින්ම හිතන්න දේවල් අපට විවරකර දී ඇති නිසා. විකල්ප සංගීතයක් පිළීබඳ සිහින දකින්නන් ලෙස ඒ ප‍්‍රශ්ණවලට පිළිතුරු කල්පනා කරන අතරේ අපි ආයෙත් ඒ කටහඬට හා සංගීතයට සවන් දෙමු.

මෙන්න ඒ් ප්‍රශ්න:


  • විකල්ප විය යුත්තේ අන්තර්ගතය(content) පමණක්ද? ස්වරූපය(form) විකල්ප විය යුතු නැද්ද?
  • විකල්ප ස්වරූපයට විකල්ප වූ කලාත්මක නිර්ණායක අවශ්‍ය වන්නේ නැද්ද?
  • විකල්ප අන්තර්ගත විකල්ප ස්වරූපයෙන් නිපදවීමට විකල්ප මෙවලම් සහ ක‍්‍රමවේද ගවේශනය කළ යුතු නැද්ද?
  • විකල්ප නිර්මාණ පමණක් නොව විකල්ප රසිකයකුද නිර්මාණය කළ යුතු නැද්ද?


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?