"ඇවිලෙනසුළු ජීවිතය!" - චින්තන ධර්මදාසගේ ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටය ගැන කියැවීමක්



චින්තන ධර්මදාස නිර්මාණය කළ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටයේ දර්ශනය නරඹන්න අවස්ථාවක් ලැබුණා. චින්තන පැවසු විදියට මේ චිත‍්‍රපටය 2015දී නිර්මාණය කළ එකක්. පොදුවේ ලංකාවේ සිනමාවට උරුම දෝෂ ගණනාවක් නිසා අනෙකුත් බොහෝ චිත‍්‍රපට වගේම ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්න වුණේ වසර පහක් ප‍්‍රමාදවෙලා. අපි කොළඹ රීගල් සිනමාහලේ සවස 6.30ට එහි මංගල දර්ශනය නරඹා පැමිණි දිනට පසුදින උදෑසන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් සිනමා ශාලා ඇතුළු පොදු විනෝද කටයුතු ස්ථාන වසා දැමුවා. ඒ නිසා වසර පහකට පසු පේ‍්‍රක්ෂකයන් ඉදිරියට පැමිණි ‘ඇවිලෙනසුළුයි‘ තවමත් නරඹන්නට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබුණේ නෑ. කොහොම නමුත් ප‍්‍රමාදවී හෝ එය නරඹන ඔබ වෙනුවෙන් ඒ සඳහා යම් ප‍්‍රවේශයක් ගන්න අපි උත්සාහ කරනවා.

චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශ්‍යාම් ප‍්‍රනාන්දු සහ සමනලී ෆොන්සේකා. ප‍්‍රියන්ත සිරිකුමාර, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර ආදීන් අතුරු චරිත රඟපානවා. මේ චිත‍්‍රපටය ප‍්‍රධානචරිත නිවසින් පිටත්ව මාර්ගයක ගමන්කරන ආකෘතිය සහිත  Road Movie සිනමාවේ ලක්ෂණත්, කාලය සහ අවකාශය පිලිබඳ රේඛීය දැක්මෙන් විතැන්වන Thriller Movie හෝ  Horror Movie  සිනමාවේ ලක්ෂණත් නියෝජනය කරනවා.
‘ඇවිලෙනසුළුයි‘  චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතවන ශ්‍යාම් සහ සමනලී රඟපාන චරිත දෙක කාර් එකකින් විශාල දුරක් යනවා. කොළඹ සිට, ගාල්ල, හම්බන්තොට වගේ ප‍්‍රදේශ පසුකරමින් ඔවුන් දෙදෙනා ගමන් කරනවා. චිත‍්‍රපටයේ දර්ශන තලය පුරා තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ග යේ සහ හම්බන්තොට ප‍්‍රදේශයේ මාර්ගයක දෙපස දර්ශන. ඒ දර්ශන තුළ ස්වභාවික පරිසරය හා මානව සංස්කෘතිය කැමරාවට හසුවෙන්නේ Green Book වැනි චිත‍්‍රපටයක් සිහියට නගමින්. නිදසුනක් විදියට ‘ඇවිලෙනසුළුයි‘  චිත‍්‍රපටයේ ශ්‍යාම් තේ එකක් බොන්නට කුඩා කඩයක් ඉදිරියේ සිය කාරය නතර කළවිට ලංකාවේ කණ්ඩායම සහභාගී වනක‍්‍රිකට් තරඟයක විස්තර විචාරය සහ රතුලූණු ගෙඩි කිහිපයක් ඇසුරෙන් ඇවිලෙනසුළු ජීවිතය වැස්සට අදාළව කෙමක්කරන වැඩිහිටියෙක් හමුවෙනවා. Peter Farrelly ගේ  Green Book (2018) චිත‍්‍රපටය තුළ අපට හමුවන මග දෙපස මානව සංස්කෘතිය ම්ලේච්ඡ ලෙස වර්ණභේදවාදය සහිත මුත්  Kentucky Fried Chicken (KFC) සහ සම්භාව්‍ය සංගීත සංධ්වනි අසන ජනතාවකින් සමන්විත සංස්කෘතියක්. ‘ඇවිලෙන සුළුයි‘ චිත‍්‍රපටයේ අපට හමුවන්නේ  ජාත්‍යන් තර ක‍්‍රිකට් තරඟ සහ ආසියාතික මිත්‍යාවන් එකට පවතින සංස්කෘතියක්. ධනවාදය මේ මොහොතේ සංයුක්තව පවතින්නේ එහිම වූ කිසියම් සාරයකින් නෙවෙයි. එය ප‍්‍රාග්ධන අභිලාෂයන් වෙනුවෙන් සියල්ල තම ගුරුත්වාකර්ෂණ ක්ෂේත‍්‍රයට ආකර්ශනය කර ගන්නා නිසා පූර්ව ධනේශ්වර කෙම් ක‍්‍රම පවා සිය ක‍්‍රියාවලියට උරා ගන්නවා. ඒ නිසා අප ඉදිරියේ පවතින්නේ ධනවාදය, පූර්ව ධනවාදී ලක්ෂණ, ඇතැම්විට අනාගත සමාජයන්හි ලක්ෂණ වගේම, ධනවාදයට එරෙහි අරගල පවා ප‍්‍රාග්ධනයේ වැඩබිම් බවට පත්කර ගන්නා ලෝකයක්. සංස්කෘතිකක් ෂේත‍්‍රයට ප‍්‍රාග්ධනය ඇතුල්වී, සියල්ල වෙළඳපළට ඇතුලත් කර ගන්නාසමාජයක ඒ සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සහ පැරණි කෙම් ක‍්‍රම යන දෙකම වෙළඳ භාණ්ඩ මිස ඒ අතර වෙනසක් නෑ. ජාතිකවාදයේ අසමත් ලක්ෂ්‍යය එන්නේ එතැන.



‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටයේ කාලය සහ අවකාශය තුළ අපේ හැසිරීම් සම්ප‍්‍රදායික රේඛීය චින්තනය බිඳ දමනවා. නිදසුනක් ලෙස සිය පෙම්වතිය මුදල් බෑගයද රැගෙන පැනගිය පසුව තුවායක් පමණක් ඇඳ ඇය සොයා යන ශ්‍යාම් දෙස බිරිඳ මරා කාර් එකේ ඩිකියේ දාගෙන යන ගමන් තේ එකක් බාන ශ්‍යාම් බලා සිටිනවා. නිවසේ ඇඳ මතදී බිරිඳ මරාදැමූ ශ්‍යාම් කාර් එකේ හප්පා ඇය නැවත මරා දමනවා. එක අවස්තාවක‘ෆෝන් එක දෙනවා කෙල්ලට - තමුසේ කවුද - මම ඒ ගෑනිගේ මිනිහා - එතකොට මම කවුද  ඕයි‘ දුරකථන සංවාදයේ පිළිතුරු දෙන්නා ශ්‍යාම්වන අතර තවත් අවස්ථාවක දුරකථන ඇමතුම ගන්නේ ශ්‍යාම්ය. කාලය ඒක රේඛීය ලෙස අතීතය-වර්තමානය - අනාගතය ලෙස ගලායාම වෙනුවට ඒ සියල්ල පැටලෙයි, කාල රේඛාව දිගේ ඉහළ පහළ යයි. අනෙක් අතට ඇත්තේ එක කාල දෝනාවක් නෙවෙයි.

සමාන්තර කාල අවකාශයන් කිහිපයකි. එකම සිදුවීමේ වෙනස් අවසානයන් කිහිපයක් තිබෙනවා. ඒසියල්ල සිදුවෙනවා. නිදසුනක් ලෙස ‘ඇවිලෙනසුළුයි‘  චිත‍්‍රපටයේ ගැහැණිය සැමියා අතින් මරුමුවට පත්වීම සහ ඇය පවුලෙන් මිදී නිදහස සොයා පලායාම යන දෙකම සිදුවෙනවා. මේ අවකාශ - කාල පටලැවිල්ල Vincenzo Natali ගේ In the Tall Grass  (2019) සිහිපත් කරවනවා. සමකාලීන පවුලේ අර්බුදය සහ එයට ඇතිවි කල්ප පවා විනාශකාරී බව‘ ඇවිලෙනසුළුයි‘ අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වන බව අපේ අදහස. පවුලේ පීඩාවෙන් විමුක්තිය සොයා යන පිරිමියා හට එය සියතින් දිවි තොරකර ගැනීමක්, සියතින් ගෙල සිරකර ගැනීමක් වන අතර පවුලෙන් නිදහස සොයායන ස්ත‍්‍රියට එය තමන්ටම අත්වැරදීමකින් ගිනි තබා ගැනීමක්. පෞද්ගලික දේපළ හා පුරුෂ මූලිකත්වය මත පදනම් වූ සමකාලීන පවුල පවත්වා ගෙන යාම මෙන්ම ලිබරල් අර්ථයෙන් එයින් මිදී පළායාමද එකසේ විනාශකාරීයි. එලෙස කියන්නේ චින්තන ධර්මදාස නොව අප. ‘ඇවිලෙනසුළුයි‘ හරහා චින්තන කිසිවක් කියන්නේ නැහැ. ඒ ගැන අපට  ඕනෑම දෙයක් කිව හැකියි. ඒ අර්ථයෙන් මෙය වඩා විවෘත සිනමා ශානරයක්. එයට අදාළ අර්ථකථනය අප විසින් ලබා දිය යුතුයි. මේ සඳහා Thriller Film ආකෘතිය භාවිතා කිරීම නිසා චින්තනට එය හොඳින්ම ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බව  පෙනෙනවා. චිත‍්‍රපටයේ ත‍්‍රිමාණ ග‍්‍රැෆික් නිර්මාණකරණයේ දුබලතා තිබෙනවා. නමුත් සමකාලීන පවුල සහ ස්ත‍්‍රීපුරුෂ සබඳතාවල අර්බුදය සාකච්ඡුා කරන්න‘ඇවිලෙන සුළුයි‘ අපට හොඳ නිමිත්තක් වේවි.

කොරෝනා උවදුර පහව ගිය පසු එය නරඹන්න, අපි ඉන් අනතුරුව වඩා පුළුල් සංවාදයක් අවුළුවා ගමු. ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටය බොහෝ සමාජමය සහ සිනමාත්මක සංවාද අවුළුවන සුළු නිසා අපට එය පහසුවේවි. සාකච්ඡා කරන්න ‘ඇවිලෙනසුළුයි‘ අපට හොඳ නිමිත්තක් වේවි. කොරෝනා උවදුර පහව ගිය පසු එය නරඹන්න, අපි ඉන් අනතුරුව වඩා පුළුල් සංවාදයක් අවුළුවා ගමු. ‘ඇවිලෙනසුළුයි‘ චිත‍්‍රපටය බොහෝ සමාජමය සහ සිනමාත්මක සංවාද අවුළුවනසුළු නිසා අපට එය පහසු වේවි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?