මැයි 01 - හුදකලා කළ සමයක, තනි නොවීම !
මැයි පළමුවැනිදා ගන්නා ලද මේ සේයාරුවෙන් දැක්වෙන්නේ කොරෝනා වසංගතය නිසා තදින් බැට කෑ ඉතාලියේ නගරයක ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් කළ රක්ත වර්ණ රිබන් පටි සැරසිල්ලකි.
වෙනත් වසරවලදී මැයි 1 වැනිදා ලෝකයේ ප‍්‍රධාන නගර වීදි ඔස්සේ මිලියන ගණනක් වැඩකරන ජනතාව ජාත්‍යන්තර සහෝදරත්වය සංකේත්වත් කරමින් ගමන් කළහ. එසේම වසරක් පාසා ඔවුහු පාලක පන්තියේ සූරාකෑමට හා මර්දනයට එරෙහිව හඬ නැගූහ. කොරෝනා වසංගතය මැද මෙදා එසේ කළ නොහැකි වුවත් ලොව පුරා පීඩිතයන් නියෝජනය කරන සංවිධාන සහ වැඩකරන ජනතාව මෙදාත් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරූහ.
වසංගතය මැදින් මේ වන වි ට ලෝකය පුරා ෆැසිස්ට්වාදී බලයක් ව්‍යාප්ත කිරීමේ අනතුරක් උද්ගතව තිබේ. දෙවන ලෝක යුද සමයේ නාසිවාදීන්ගේ සිරකුටිවල සිටි කොමියුනිස්ට්වාදීන් කම්කරු දිනය සැමරූ අත්දැකීම සුවිශේෂී වේ. නාසි අත්අඩංගුවේ සිටි චෙක් ජාතික කොමියුනිස්ට්වාදී පුවත්පත්කලාවේදියා, ජූලියස් ෆුචික් ඒ ගැන මෙසේ ලියා තැබීය.
"අද 1943 මැයි පළමුවැනිදාය.
විරාමයක් ලැබීමෙන් මා හට ලිවීමට ඉඩ කඩ ලැබුණි. කොතරම් වාසනාවක්ද? නැවතත් මොහොතකට හෝ කොමියුනිස්ට්වාදී කතුවරයකුවීමට හැකිවීම...
නව ලෝකයෙහි මැයි දින පෙළපාළියෙහි සටන් ශක්තිය පිළිබඳ කතාවක් ලියමි. ලෙළදෙන ධජයක් ගැන ඇසීමට සූදානම් නොවන්න. එබඳු කිසිවක් නැත. එය ජනතාව ඇසීමට පුල පුලා සිටින ත‍්‍රාසජනක අත්දැකීමක් ද නොවේ. අද වන විට එය එතරම් ම සරලය. මැයි පළමු වැනි දින ප‍්‍රාග් නුවර වීදි අතරින් ගලායන දහස් ගණන් පුපුරු ගසන පෙළපාළිකරුවන්ගේ රළවේගයක් නොමැත. මොස්කව් රතු චතුරශ‍්‍රයේ පිටාර ගැලූ මිලියන ගණනක් ජනතාවගේ චමත්කාරය නොමැත. මිලියන ගණනක් නොව, සිය ගණනක් පවා ඔබට මෙහි දක්නට නොමැත.
අතළොස්සක් සහෝදරවරු මෙහි සිටිති.... ජාත්‍යන්තර ගීතය ලොව පුරා ගැයෙනු ඇත. එය අපේ සිරකුටිය තුළත් රැව්දිය යුතුය. අපි එය ගයමු, විමුක්ති ගී එකක් අවසන තව තවත් ගායනා කරමු. අපට හුදකලා විය නොහැක. ඇත්තෙන්ම අප හුදෙකලාවී නොමැත. පිටත ලෝකයේ ගායනා කරන මිනිසුන්ට අපිද අයත් වෙමු. ඔවුහු අරගලයේ නියුතු වෙති. අප ද එසේමය.....”
(ජූලියස් ෆුචික් - පෝරකයේ සටහන්,
සිතිජය මාධ්‍ය සංසදය)
Comments
Post a Comment