'මන්ටො - ඉන්දියානු උපමහද්වීපික ලේඛකයාණෝ" කෘතිය ගැන හැදින්වීමක්
අප රළ‘හි බොහෝවිට සාකච්ඡා කරනුයේ යම් කිසි කලාකෘතියක් එසේත් නැත්නම් සාහිත්‍ය කෘතියක් පිළිබදවය. එහෙත් සාහිත්‍ය කලා විචාර කෘතියක් අපගේ සාකච්ඡුාවට බදුන් කරගත් අවස්ථාද නැතුවාම නොවේ. උදාහරණයකට අපි නදික ගුරුගේ සංගීතවේදියාගේ ක්ලැරන්සියානු පොප් සංගීතය කෘතිය සාකච්ඡුාවට ගත්තේ එය ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවේදියා පිළිබද පමණක් නොව, ‘සිංහල පොප් සංගීතය’ පිළිබද නදීක ගුරුගේ සංගීතවේදියා විසින් සිදුකළ බරපතළ කතිකාමය මැදිහත්වීමක් වන බැවිනි.
මෙවර ‘රළ’ කලාපයෙන්ද අප සාකච්ඡාවට ලක් කරනුයේ සාහිත්‍යවේදියකු පිළිබද විචාරාත්මක කෘතියකි. ඒ එරික් ඉලයප්ආරච්චි විසින් රචනා කළ 'මන්ටො- ඉන්දියානු උපමහද්වික ලේඛකයාණෝ" කෘතියයි. සදාත් හුසේන් මන්ටො නම් ඉන්දු පකිස්ථාන ලේඛකයා, කෙටිකතාකරුවා, සිංහල පාඨක සමාජයට හඳුන්වාදෙන පළමු අවස්ථාව වන්නේද එරික්ගේ මෙම කෘතියයි.
එරික් ඉලයප්ආරච්චි, සිය ‘මන්ටො‘ කෘතිය තුළින් කලාව හා දේශපාලනය ඉන්දු උපමහද්වීපික මට්ටමින් කියවා ගන්නට ගන්නා උත්සාහයත් ජනතාවාදයකට නොවැටුණු විප්ලවීය කලාවක පැවැත්ම පිළිබද අසල්වැසි ඉන්දු පාකිස්තාන සාහිත්‍යයෙන් ගෙන හැර දක්වන සාධකත් ජාතිවාදයට එරෙහිව මහද්වීපික පදනමකින් ගොඩනැගුනු සාහිත්‍ය ව්‍යාපාරයක් පිළිබදව අවුලූවන උනන්දුවත් කෘතිය බැරූරුම් ලෙස කියවීමට අප තවදුරටත් පොළඹවන ලද කාරණාය. මන්ටෝගේ සාහිත්‍යයේ අක්මුල් ගවේශනය කරන එරික්, ‘ඉන්දියාව බෙදා වෙන්කිරීම’ නම් අධිරාජ්‍යවාදී උපායමාර්ගික ප‍්‍රවේශයට එරෙහිව, ඉන්දු පාකිස්තාන උපමහද්වීපික රටවැසිභාවයක් පිළිබඳ අපේක්ෂාව තුළ එහි අක්මුල් දකී. ඒ සදහා ඔහු මන්ටොගේ ‘ටෝබා ටෙක් සින්‘ යන කෙටිකතාව
උදාහරණ ලෙස දක්වයි.
”එහි කටුකම්බියට පසුපසින් ඉන්දියාව පැවතුනු අතර අනෙක් පසින් තවතවත් කම්බි වැටවල් පසුපසින් පාකිස්ථානය තිබේ. ඒ දෙක අතර පොලවේ නමක් නැති ඇබිත්ති බිමක ටෝබා ටෙක් සින් වැතිර සිටියේය.
( 27 වන පිටුව - මන්ටො)
මන්ටොගේ කලාත්මක ප‍්‍රතිභානයේ මූලය ‘නොබෙදුණ ඉන්දියාවක්’ පිළිබද ඔහුගේ සිහිනය, නොබෙදුණ ඉන්දියාවක පුංචි ආදර වස්තුවක නාමකරණය කොට සාකච්ඡා කරන එරික්, මන්ටෝගේ මුලූමහත් සාහිත්‍ය ව්‍යාපෘතියේ සන්ධිස්ථානමය මොහොත හා පෙළඹුම් ලක්ෂ්‍යය ඉන්දියාව බෙදී යාම හා ඉන් හටගත් සමාජයීය ව්‍යසනය තුළ සලකුණු කරයි. ඒ පිළිබද ඔහුගේ කෘතියේ මෙසේ විස්තර කරයි.
"ඉන්දියාව හා පාකිස්තානය වශයෙන් නොබෙදුණු නිදහස් ඉන්දියාවක් වෙනුවෙන් රචනාවීම ඇරඹුණු ඔහුගේ සාහිත්‍යය එම බෙදීම හමුවේ විරෝධාකල්පික වූ අතර එය ඔහුගේ යථාර්ථවාදයේ සන්ධිස්ථානයක් සලකුණු කළේය.
(10 වන පිටුව - මන්ටො)
බෙදීමට එරෙහිව මන්ටෝගේ මතවාදය කොයියම්ම විදියක හෝ ජාතිවාදයක් සමග සිට ගැනීමක් නොවන බව ඔහුගේ ‘යාෂිඩ්’ කෙටිකතාව පිළිබද එරික් ඉදිරිපත් කරන විශ්ලේෂණයෙන්ද උපුටා පරිවර්තනය කොට ඇති එම කෙටිකතාවේ කොටස් තුලින්ද විෂද වේ. "කෙටිකතාව ගෙතෙන්නේ ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ දවස් කිහිපයක විස්තරයෙනි. සාමාන්‍ය ගැමියකු වූ ඔහුගේ ජීවිතය ඉන්දියාව බෙදීම නිසා උඩු යටිකුරු වෙයි....
"ඉන්දියාව බෙදීම නිසා මිනිස් ජීවිත හා දේපළ විනාශය, උන්හිටි තැන් අහිමිවීම හා ඒ පිළිබද මානසික උපස්ථිති හා ආශාව වශයෙන් ඇතිවූ වස්තුමය අහෝසියට කරීම්ගේ ගමේ ගැමියෝ මුහුණ දී සිටිති.”
(334-335 පිටු - මන්ටො)
මන්ටො - ඉන්දියානු උප මහද්වීපික ලේඛකයාණෝ කෘතිය ගැන හැදින්වීමක්
”ගම මැදින් ගලාගෙන යන ගග, ඉන්දියාව විසින් අවහිර කරනු ලැබීමෙන් ගමට වතුර නැතිකරන ආරංචිය නිසා වැඩිහිටි ලෝකයේදී කරීම් දාඩ්ගේ ඉවසීමේ ප‍්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක්වන අතර ඔහුට වැඩිහිටියන්ගේ එක්තරා ප‍්‍රචණ්ඩත්වයකට මුහුණ පාන්නට සිදුවේ.”
(340වන පිටුව - මන්ටො)
”කරීම් දාඩ්, ඉන්පසු ගමේප‍්‍රජා ශාලාවට යයි. මුල්ලක වාඩි වූණු කරීම් දාඩ්, තමා අවට සුලි නගන කතාවලට නිසලව සවන් දී සිටියේය. සියල්ලෝ එක දෙයක් ගැන එකග වී සිටියහ. ගග වසා දැමීම කැත පහත් මට්ටමේ උපායක්වන අතර තුට්ටු දෙකේ, ප‍්‍රතිපත්තියක් නැති, සීමාන්තික වූ එම ක‍්‍රියාවේ පාපය ‘යාෂීඩ්’ නමැත්තා විසින් සිදුකළ වරදට සමාන කළ හැකිය.... "එවිට කරීම් දාඩ් දීර්ඝ පිළිතුරක් දෙයි. එහෙම අවස්ථාවකදී සතුටුදායක උත්තරයක් හොයාගන්න කෙනෙකුට පුලූවන් වන්නේ ඉතා විමසිලිමත්ව කරුණු සලකා බැලූවොත් පමණයි...
යාලූවා මම දන්නෙ මෙපමණයි. ඉන්දියාවට ප‍්‍රතිපත්තියක් නැහැයි, දුෂ්ටයි, බාලයි, කෘරයි කියන එක වැරදියි..... ඔවුන් අපේ සතුරන් වගේම අපිත් ඔවුන්ගේ සතුරන්. අපිටත් පුලූවන් නම් ආහාර මාර්ග හා ජලය අවහිර කරනවා.”
(44-45 පිටු - මන්ටො)
මෙසේ මන්ටෝ, සිය කෙටිකතාව තුළින් බාහිර සතුරකු නිර්මාණය කරමින්, අභ්‍යන්තර සමාජ පැල්මවලට පැලැස්තර ඇලවීමට උත්සාහ කරන ජාතිකවාදී දේශපාලනය හෙළිදරව්කරන අයුරු එරික්ගේ කෘතියෙන් අපට පෙන්වා දෙයි. උක්ත කෙටිකතාව තුළ කරීම් දාඩ් සිය අලූත උපන් පුතුට තමාම නියෝජනය වන ඉස්ලාම් ඉතිහාසය තුළ වඩාත් පිළිකුලට හා වෛරයට පාත‍්‍රවන පුද්ගලයා වන යාෂිඩ් නමැත්තාගේ නම ලබා දෙනුයේ බාහිර සතුරන් ගොඩනැගීම තම පැවැත්මේ සාධකය බවට පත්කරගන්නා සියලූ ජාතිවාදී ව්‍යාපෘතිවලට හෙළන අතුල් පහරක් ලෙසිනි. මුස්ලිම් ජාතියේ සතුරා සිටිනුයේ මුස්ලිම් ජාතිය තුළම බවත්, හින්දුන්ගේ සතුරා සිටිනුයේ ඔවුන්ගේම පන්ති නිර්මිතය තුළ බවත් මතක්කරවන ලෙසිනි.
"කරීම් දාඩ් ඒ ප‍්‍රජා ශාලාවෙන් පිටතට එන විට වින්නඹු මාතාව ඔහුට පවසන්නේ වීනාට පිරිමි පුතකු ලැබුනු බවය. දරුවාට සුදුසු නමක් ගැන සිතන්නැයි ඇය ඔහුට කියයි. කරීම් දාඩ්ගේ මුවින් එකවරම පිටවන්නේ යාෂිඩ් යන අපවාදාත්මක නාමයයි. ඒ නම ඇසුණු විට වීනා පුදුමයට පත් වෙයි. ඇයට එය ඇදහිය නොහැකි වෙයි. එනමුත් කරීම් දාඩ් ඒ නම ස්ථිර කරයි. ඔහු කියන්නේ එය නමක් පමණක් බවය. ඉස්ලාමික ඉතිහාසයට අනුව යාෂිඩ් විසින් යුප‍්‍රටීස් ගංගාවට යන මාර්ගය අවහිර කරමින් සධාර්මික බැතිමත් ආදී ජනයා සාගින්නෙන් හා පිපාසයෙන් මිය යන්නට සලස්වා ඇත. කෙටිකතාව අවසාන වන්නේ කරිම් දාඩ් තම දරුවා දෙස බලා මෙසේ ප‍්‍රකාශ කිරීමෙනි.
‘ඔහු ගග වැහුවා. අපේ පුතා ගග අරිනවා.’ (346 වන පිටුව - මන්ටො)
මන්ටොගේ මේ ප‍්‍රවේශය ඉන්දිය හා පාකිස්තාන දෙජාතියේම ජාතිකවාදයන් අර්බුදයට යැවීමකි.
කරීම් දාඩ්ගේ මේ ස්ථාවරය ගැටෙනුයේ හැමවිටම ජාතිවාදය අනෙකා තුළ දැකීමට උත්සුකවන අපේ යුගයේ ජාතිවාදය සමගය. මේ වර්ගයේ ජාතිවාදයේ ස්වරූපය නම් සෑම විටම තමාට ජාතිවාදීවීමට හේතුවන බාහිර ජාතිවාදියෙක් සොයාගැනීමය. මන්ටෝගේ කෙටිකතාව මෙන්ම, ඒ පිළිබද එරික්ගේ විමර්ශනය අභියෝග කරනුයේ ජාතිවාදයේ මේ තක්කඩි සෙල්ලමටය.
"ඉන්දියාවට ඇති තරම් නිග‍්‍රහ කිරීම කරිම් දාඞ් සාමාජිකත්වය දැරිය යුතු ජාතියේ අනන්‍යතාව ඇති කිරීමේ මාර්ගයකි. ගම්මුලාදෑනියා දේශප්‍රේමියකු වන අතර තම සතුරු දේශයට අපහාස කිරීමෙන් තම ජාතිය පිළිබද අනන්‍යතාවක් ඔහු ගොඩනගයි. කරීම් දාඞ් ගැටෙන්නේ මේ දේශය ගොඩනැගීමේ ව්‍යාපෘතිය සමගයි.”
(49 පිටුව)
මන්ටෝගේ සාහිත්‍යයේ ආවේශය එක අතකින් ‘නොබෙදුනු ඉන්දියාවක් පිළිබද ආදරයේ වස්තු හේතුවෙන්’ උපදින අතර අනෙක් අතින් නිදහස් අරගලය විසින් නොසළකා හරින ලද සමාජයේ පරිධියේ, ගැට්ටේ ජිවත්වන්නන්ගේ ජිවත්වීමේ අයිතිය ඉල්ලා සිටීමේ අභිලාෂයෙන් බිහිවන බව කතුවරයාගේ අදහස වී තිබේ.
මේ පිළිබද කතුවරයාගේම අදහස් මෙසේය.
"මන්ටෝගේ සර්ව සක‍්‍රීය අසමසම පාදඩයෝ ප‍්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය තුළ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය, චරිත ස්වභාවය හා චිත්ත ස්වභාවය අනාවරණය කිරීමේදී තත්කාලීන ඉන්දියාව තුළ වඩාත් විශාල සංකේතික විශ්වයක් දිනා ගනිති. නිදහස් අරගලය විසින් නොසළකා හරින ලද හා මර්දනය කරන ලද සමාජයීය මිනිසා පිළිබද සංඥාවක් ලෙස මන්ටෝගේ පාදඩයාගේ සංකේතය ව්‍යාප්ත වෙයි.”
( 145 වන පිටුව - මන්ටො)
ඒ අනුව, එම අවවරප‍්‍රසාදිත බහුතර සමාජ තීරුව මන්ටෝගේ කෙටිකතාවට පාදකවන හැටි ‘මන්ටෝ-ඉන්දියානු උපමහද්වීපික ලේඛකයාණෝ’ කෘතියෙන් විස්තර කෙරේ. "නාගරික මැරයන්, පිම්පියන්, ගනිකාවන්, මුඩුක්කු වැසියන් පමණක් නොව, ඈත පිටිසරෙන් මහනගරයට සංක‍්‍රමණය වන්නන්, ආධ්‍යාත්මික ගුරුවරුන්, සන්‍යාසීන්, බොලිවුඩ් ලේඛකයන් ආදීන් සහිත ප‍්‍රජාව මුලූමහත් බොම්බායේ ජන සංඛ්‍යාවෙන් 90%ක් නියෝජනය කරන අතර ‘සෙක්ස්’ හා ‘ඩ‍්‍රග්ස්’ බහුල ඒ ජනාකීර්ණ අන්ධකාර කලාපය මන්ටොගේ කලාත්මක ස්වරාජ්‍යයයි.
"මං කියන්නම් ඔයාට මගේ මාසික වියදම කීයද කියලා. රුපියල් පහලොවයි. ඒ වගේම ඔයා දන්නවද මගේ කුලියත් කීයද කියලා. රුපියල් දහයයි. ඔයා ගන්න රුපියල් දහයෙන් හතරෙන් එකක් බාර් ලාල්ට යනවා. එතකොට මට ඉතුරු වෙන්නෙ රුපියල් හතයි ඇනා අටයි හරියටම, මම මිනිස්සුත් එක්ක නිදා ගන්නවා.”
(191 පිටුව)
මේ අනුව, ස්වදේශීය හා විදේශීය මුල්‍ය බලවතුන්ගේ ක‍්‍රියාකාරිත්වය හමුවේ ආර්ථික ක‍්‍රියාවලියෙන් දිනෙන් දින ආන්තිකකරණයට ලක්වන මිනිස් කැලිකසල බවට පත්වන නිර්ප‍්‍රභූ ජනයාගේ ජීවන තත්වය ලේඛනයට නැගීම හා ලෝක බල දේශපාලනයේ ගොදුරු බවට පත්වන තුන්වන ලෝකයේ රටවල දේශපාලන යථාර්ථය නිරූපනය කිරීම අතින් මන්ටෝ ඉන්දු පාකිස්ථාන වන තරමටම දකුණු අසියානු කලාපීයද වන බව එරික් සිය කෘතියෙන් අපට පෙන්වා දෙයි.
විශිෂ්ට ලේඛකයා පිළිබඳ පිටු 350කටත් වැඩි සිය කෘතිය එරික් අවසන් කරනුයේ ඉන්දියාව තුළ, එනයින් ඉන්දු උප මහද්වීපය තුළ මන්ටෝගේ කෙටිකතා විසින් ඉටුකරන ලද කාර්ය යළි තක්සේරු කිරීමකිනි. ‘හේගල්ගේ ඉන්දියාව, ෂොපෑන්හුවර්ගේ ඉන්දියාව සහ මාක්ස්ගේ ඉන්දියාව’ යන ශීර්ෂයෙන් ලියා ඇති පරිච්ඡේදයෙන් ඔහු මෙසේ සදහන් කරයි.
"හේගල්ගේ මේ යුරෝ කේන්ද්‍රවාදය ආසියාතිකවාදීන් කුපිත කරතත්, ඔහු අකාලික හා සනාතන ඉන්දියාව එක පෑන් පහරින් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ ශක්තියෙන් ප‍්‍රගමන සන්තතියකට, දිග හැරීමේ ව්‍යාපෘතියකට ඇද දමයි. ඒ අතින් මන්ටෝ වැනි ලේඛකයන්ගේ ගර්භාෂය හේගල් වන අතර ...”
(301 පිටුව)
ඒ අනුව ස්වභාවික සබදතා සහිත, සනාතන ප‍්‍රකෘතියකින් යුත්, රෝමාන්තික ඉන්දියාවක් වෙනුවට, මන්ටෝ දකිනුයේ හෙගල් දුටු ආකාරයේ වර්ධනයේ පවතින හා මාක්ස් දුටු ආකාරයේ සමාජ පරස්පරතාවන්ගෙන් පිරුනු ඉන්දියාවක් බව එරික් අපට පෙන්වා දෙයි.
"එය මාක්ස් විසින් ඔලූවෙන් හිටුවන ලද හේගල්ගේ ඉන්දියාව විය. මාක්ස්ගේ අදහස වූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය ඉන්දියාව තුළ ද්විත්ව මෙහෙවරක යෙදී සිටින බවය. එක් මෙහෙවරක් විනාශකාරීය. අනෙක් මෙහෙවර පුනර්ජීවනාත්මකය. වැඩවසම් ක‍්‍රමය බිද දමා ධනේශ්වර ක‍්‍රමය ස්ථාපිත කරන එය අකාලික හෙවත් සනාතන ඉන්දියාව ඉතිහාසය වෙතට රැගෙන එයි.”
(308 වැනි පිටුව)
මන්ටෝගේ කෙටිකතාවල චරිත මේ ඉතිහාසයෙන් පැන නැගෙන හැටි, ඒ ඉතිහාසයේ පරස්පරතා නියෝජනය කරන හැටි, එරික් සිය මන්ටෝ කෘතිය තුළින් පෙන්වා දෙයි. ඒ අර්ථයෙන් කතුවරයා සිය කෘතියේදී මන්ටෝ හැදින්වීම සදහා යොදන ‘ඉන්දියානු උප මහද්වීපික ලේඛකයාණෝ’ යන නමට ඔහු මොනවට සුදුසු බව ප‍්‍රත්‍යක්ෂ කරයි.
කෙසේවුවද, තවමත් එක කෙටිකතාවක් හෝ පරිපූර්ණව සිංහල භාෂාවට පෙරලී නැති මේ ලේඛකයාගේ සාහිත්‍ය හා එහි සමාජයීය වලංගුභාවය පිළිබද පරිපූර්ණ චිත‍්‍රයක් මවාලීමට එරික් ඉලයප්ආරච්චිගේ කෘතිය විශිෂ්ට සමත්භාවයක් දක්වන බව ලියා තැබිය හැක.
Comments
Post a Comment