වාමාංශික - සිංහල රණකාමයේ උත්කර්ෂවත් අවසාන සැණකෙළිය


විමල් කැටිපේආරච්චිගේ 'නැළවෙන ගී මැද  ඕවිල්ල (NGO)' කෘතිය පිළිබඳ විමසුමක්

නූතන යථාර්ථවාදී නවකතාව එහි ලෝක සහ යුග පරිමාණ, විපුලතරම ප‍්‍රකාශවීම්වලදී පවා ‘නිරීක්ෂකයා, නිෂ්ක‍්‍රීය නිරීක්ෂකයකු වීම නවකතාව මුහුණ දුන් ඓතිහාසික අර්බුදයක් වූයේය. මේ ඓතිහාසික අර්බුදය ජයගනු වස් සක‍්‍රිය නිරීක්ෂකයකු ගොඩනගා ගැනුමට නවකතාකරුවා විසින් දරන ලද වෑයම විසින් නූතන යථාර්ථවාදී නවකතාව, පසු නූතන-ඉන්ද්‍රජාලික නවකතාව බවට පත් විය. පසුගිය සියවසේ නවකතාවේ සිදුවූ ආකෘතිමය, ෂානරීය වෙනස්කම්වල කේන්ද්‍රයෙහි ඇත්තේ මෙන්න මේ නිෂ්ක‍්‍රිය නිරීක්ෂකයා වෙනුවට සක‍්‍රිය නිරීක්ෂකයකු ගොඩනැඟීමේ දේශපාලන ව්‍යාපෘතිය යැයි සැලකීම වරදක් නැත. එබැවින් අපේ යුගයේ බිහිවන බොහෝ නවකතා වියමන අතින්, කර්තෘ මූලික වනවාට වඩා පාඨ මූලික වීම දැකිය හැක. මෙය සරලව නවකතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීවීමක් හැටියට දකිනවා වෙනුවට, ජනසහභාගීවීමක් හැටියටය අප වටහා ගතයුත්තේ. එනම්, නවකතාව විසින් ‘කලින් අනාවරණය කරගත් සත්‍යයක්’ වමාරනු වෙනුවට පාඨකයා හා ලේඛකයා මැදිහත්වීමෙන් සත්‍ය ගොඩනඟාගැනීමක්, අනාවරණය කිරීමක් මේ තුළ දක්නට ඇත.
විමල් කැටිපේආරච්චි ලියූ ‘නැළවෙන ගී මැද  ඕවිල්ල (NGO) ’ නවකතාව තුළ ඇත්තේද මෙන්න මේ පසුනූතන නවකතාවේ ලක්ෂණයයි.

1983 ජූලි 24 වැනිදා මාරි තෙරේසා වර්ණකුලසූරිය සිය දෙවන දරුවා ප‍්‍රසූත කරන්නට මීගමුව රෝහලේ සිටියදී, ඇගේ සැමියා වන පේ‍්‍රමනාත් එගොඩවත්ත හෙවත් මොරටුව එගොඩවත්ත ෆර්නිචර්ස් හිමිකරු මතියස් එගොඩවත්තගේ ‘මහ ලොකු පුත‍්‍රයා’ යූඇන්පී කාරයන් පිරිසක් සමඟ වැල්ලවත්ත දෙමළ කඩ කඩන්නට රාවතාවත්තේ සිට ලොරි බාගයක නැඟී පිටත් වූ තැනින් ඇරඹෙන ඉතිහාස කතාව නවකතාව තුළ කූටප‍්‍රාප්ත වනුයේ 2019 අපේ‍්‍රල් මස ලංකාවේ පල්ලි කිහිපයක පුපුරා යන බෝම්බ ප‍්‍රහාරයෙනි. මෙකී කාල පරාසය තුළ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ඡුායාවක් ද කෘතිය තුළින් සියුම්ව මතු වේ. ඒ නවකතාවේ කථානායකයා වන සලිත් එගොඩවත්ත හරහාය.

ස්වකීය තිස්පස්වන උපන් දිනය දා සලිත් සිය පෙම්වතිය වූ සුලෝචනාගේ මහල් නිවාස කාමරයේ දී ලබන විස්මයාවහ උපන් දින තෑගි මාලාවක් (මිතුරු හමු, ලිංගික සංසර්ග අවස්ථා) හරහා ඇදී යන කතාවේ හැරවුම් ලක්ෂ්‍යය මතුවනුයේ නාඳුනන මෝටර්සයිකල්කරු වූ ‘බ්ලැක් මොරිස්’ගේ පැමිණීමෙනි.

”කළු ජැකට්ටුවක් හැඳගත් මුළු මුහුණම වැසෙන සේ හෙල්මටයක් පැලඳගත් මෝටර් සයිකල්කරුවෙක් පැමිණ සරුවත් කඩය අසළින් නැවතිණි. ....
ෂුවර් එකටම ඉන්ටෙකේ එකෙක්. .... ”
(පිටුව 20-21)

මුළුමහත් සමාජය මත වපුරා ඇති උමතුවක් තරම් වූ භීතියේ, වඩා සංයුක්තව පැවසුව හොත් මෑත ඉතිහාසය පුරා ලංකාවේ සමාජය තුළ හොල්මන් කළ දැන් ආයෙමත් හොල්මන් කරන ‘ගෝඨා-බය’ සමාජ මූලයන් සෙවීමට කතුවරයා නවකතාව තුළ උත්සාහ ගනු දක්නට ලැබේ. ඒ භීතියේ සමාජ මූලයන් නවකතාව තුළ අපට හමුවනුයේ තුන්වන ඊළාම් යුද්ධයේදී දකුණේ වාමාංශික ව්‍යාපාරය සිංහල රණකාමය සමඟ එක පෙළට සිටගැනීමේ ක‍්‍රියාවලිය තුළය.

”ඒ කාලෙ යුද්දෙ නැගලා යන කාලෙ. ඒ වෙනකොට අම්මනුත් මේ පැත්තට පැනලා හිටියෙ. අපි ඔක්කොම අපි වෙනුවෙන් අපි. එරබදු මල්, මැයි මල් වෙනුවට අඩියක් අඩියක් ගානෙ නිල් මානෙල් මල් පිපිලා තිබුණා.”
(පිටුව 100)

”මානෙල් මලූත් නෙලූවා. බංකරුත් හැදුවා. ඒත් මට හිතාගන්න බැරුව ගියා, අපව දෙපාරක් මර්දනය කරපු දැතිරෝදෙ එක්ක ලින්ක් වෙලා තිබ්බ පැරා මිලිටරි කල්ලි සම්බන්ධීකරණය කරන කොන්ත‍්‍රාත් එක කොහොමද අපි ගත්තෙ? කොටින්ගෙන් කැඩිලා ආව නව කොටි එක්ක මොකක්ද අපිට තිබ්බ ලින්ක් එක? ආණ්ඩුවේ කෝඩිනේටින් පාට් එක අපිට එන්නෙ කොහොමද? ඉන්ට් එකේ කෙනෙක් ඉන්න  ඕන තැනට සෝමෙ අයියව යවන්න තීරණය කළේ කවුද? එතකොට නිල නොවන ඉන්ටෙක අපිද?”
(පිටුව 112)
ඒ අනුව, ස්වකීය උපන්දිනය දා සලිත් බියට පත්වන කළු ජැකට් එක හැඳ සිටින මෝටර් සයිකල්කරුවා අන් කිසියවක් නොව, සලිත්ගේම දේශපාලන ව්‍යාපෘතියේ නිර්මිතයයි. එහි අවසාන ප‍්‍රතිඵලයයි. ‘ගෝඨා-බය’ යනු වාමාංශික සිංහල රණකාමයේ උත්කර්ෂවත් අවසානාත්මක සැණකෙළියයි.
”සලිත්... සලිත්... මේ බලන්න... මේ බලන්න... ඔයා ඇන්ද චිත්‍රෙ. ඒක නිකම්ම නිකං මෝටර් බයික් එකක් නෙවෙයි. ඒ මොටර් බයික් එක උඩ මිනිහෙක් ඉන්නවා. කළු ජැකට් එකක් දාගත්ත, කළු ෆුල්ෆේස් හෙල්මට් එකක් දාගත්ත, කළු මෝටර් බයික් එකක ඉන්න නාඳුනන මිනිහෙක්. මේකද එදා 83 ජූලි මාසෙ ඔයාගෙ තාත්තා අරන් ආව සෙල්ලම් බඩුව? මේ වෙන කවුරුත් නෙවෙයි සලිත්. මේ තමයි ඔයා පස්සෙන් පන්නන බ්ලැක් මොලී. තව ටිකකින් ඔයාව අරන් යන්න එන බ්ලැක් මොලී. ”
(පිටුව90)

ඒ අනුව තමාව පැහැරගෙන යාමට එතැයි සලිත් බියවන නාඳුනන මෝටර්සයිකල්කරුවා යනු 83දීද, 2009දීද දෙමළ ජනයා මත වැපිරූ ප‍්‍රචණ්ඩ සාහසිකත්වයේ සංකේතයයි. ලංකාවේ සියලූම පීඩිත ජනකොටස් වෙත බූමරංගයක් මෙන් කැරකී ආවේ දෙමළ ජනයා වෙත දමා ගැසූ මේ ප‍්‍රචණ්ඩ මර්දනයයි. එකී මර්දනයට සහායක බලඇණි වශයෙන් සේවය කිරීමෙන් ලබාදුන් අනුමැතියයි. දකුණේ ‘සිංහල වාමාංශය’ වෙත පෙරලා පැමිණියේද එකී මර්දනයමයි.

”කෝ මගේ ඩබල් පොකට් ෂර්ට් එක? අර කාකි පාට එක?... අපිව මර්දනය කරන්න එන උන්ගෙ නිල ඇඳුම්වල පාටටම අපිත් ආස කරන්නෙ ඇයි කියලා මාත් දන්නෙ නෑ රත්තරන්.”
(පිටුව 113)

කෙසේවුවද පාඨකයා විස්මයට පත් කරමින් කතාව අවසානයේ හෙළිවනුයේ, නවකතාව තුළ සුලෝචනා සමඟ දිගහැරුනු මුළුමහත් ජවනිකා ජාලයම සලිත්ගේ මනෝභ‍්‍රාන්තියකට වැඩි යමක් නොවන බවයි. සුලෝචනා යනු සලිත් පූර්ණකාලීන දේශපාලන ජීවිතයට එළඹීම මත ඔහු අතහැර විදෙස් ගතවූ සලිත්ගේ හිටපු පෙම්වතියයි. දේශපාලන ජීවිතය වෙනුවෙන් අත්හළ සුලෝචනා, සලිත්ගේ දේශපාලන ජීවිතයේ ආධ්‍යාත්මික පැල්මක් ඇති වූ අවස්ථාවේ, 2011 සලිත්ගේ පක්ෂය ඛණ්ඩනය වූ අවස්ථාවේ මනෝභ‍්‍රාන්තියක් ලෙස පැමිණීම නවකතාවේ තේමාත්මක මානය සමඟ ගැලපේ. එවිට, සුලෝචනා යනු සලිත්ගේ තුවාල වූ හෘදය සාක්ෂිය මතින් හටගත් මායාවක් නම්, නවකතාව තුළ සුලෝචනා හා සලිත් මහල් නිවාසයේ හමුවීම, උපන්දින සාදය, ඔවුන්ගේ ලිංගික සහවාසයන් යන සියල්ල සලිත්ගේ ආධ්‍යාත්මික පැල්මෙන් උපන් මනෝභ‍්‍රාන්තීන්ය.
නවකතාවේ එන යථාර්ථයට අනුව, සත්‍ය නම් සුලෝචනා හා සලිත් වෙන්වී අට වසරක් ගෙවී තිබීමය.  එකී ආධ්‍යාත්මික පැල්ම සලිත් තුළ ඇති වන්නේ, දකුණේ විප්ලවීය වාමාංශය උතුරේ පීඩිත දෙමළ ජාතික අරගලය මැඬලීමට රාජ්‍ය සමඟ එකපෙළට සිටගැනීම නම් ඓතිහාසික සංසිද්ධියෙනි. කෙසේවුවද සලිත්ගේ මනෝභ‍්‍රාන්තිය තුළ නිගමනය කළ සුලෝචනා යනු ‘රජයේ රහස් ඔත්තු සේවයක නියෝජිතවරියක්’ යන්න අවසානයේ නවකතාව තුළ සත්‍යෝක්ෂණය වනුයේ මනෝභ‍්‍රාන්තියම මනෝව්‍යාධියම යථාර්ථය කෙරෙහිවන නිවැරදිම ප‍්‍රවේශය බව පාඨකයාට අඟවමිනි. එනම් අප දකින ප‍්‍රබන්ධ යථාර්ථය අභියෝගයට ලක් කරමිනි.
”ඈ සිහිනයෙන් මෙන් ඇවිදගෙන ගොස් බ්ලැක් මොලී එවු ලිපි ගොනු සියල්ල කුඩා සේප්පුවක ලා රහස් කේතයකින් අගුලූ ලෑවේ යළිත් කිසිදිනක එය විවර නොකරන අදිටනිනි. ඒ ලිපිගොනුවට බොහෝ යටින් තිබූ ලිපි ගොනුවක පතුලේ, සේප්පු තහඩුවෙන් ආලෝක බිඳක්වත් නොයන මහා හුදකලා අන්ධකාරයේ ඇගේ පැරනි රාජ්‍ය සේවා ස්ථානයක රහස්‍ය හැඳුනුම්පතක් දෑස පියාගෙන නිහඬව නිදා සිටියේය.”
(පිටුව 139)

කෘතිය පාඨකයාට ඉදිරිපත්කරන අභියෝගය නම් ‘නොමඟ නොයා කියවීමේ’ අභියෝගයයි. ‘නැළවෙන ගී මැද  ඕවිල්ල’ කෘතියේ මේ තර්කයේ ක‍්‍රීඩාවක් බඳු වූ ආඛ්‍යාන රටාවම තමයි එහි දේශපාලනය. ‘සත්‍ය හැමවිටම පාඨකයාට මඟ හැරී ගිය තැනක පිහිට වීමට කර්තෘ දරන උත්සාහයම චරිතවලට පිටින් සිද්ධිවලට පිටින් හා කර්තෘටම පිටින් කෘතිය කියවීමට පාඨකයාව හුරු කිරීමකි. සත්‍ය සෑමවිටම මඟහැරී යාමට ඇති ඉඩ පාඨකයකු විසින් දරා ගත යුතුය. චරිතයන්ට අනන්‍ය නොවී වසඟ නොවී කියැවීමේ වගකීම පාඨකයකු දරාගත යුතුය. සත්‍ය සෑම විටම පවතින්නේ අප ආශාකරන තැන නොව, ඊට පිටින්ය.

කෙසේවෙතත්, නවකතාවේ පළමු අර්ධය තුළ ඉදිරිපත්වන සලිත්, සුලෝචනා සමග සිදුකරන මේ මනෝලිංගික චාරිකාවේදී, අසල්වැසි මුස්ලිම් කාන්තාවගේ පෙනී සිටීම අප වටහා ගන්නේ කෙසේද? කෘතිය තුළදී ඇය අපට හමුවනුයේ සලිත් සහ සුලෝචනාගේ ශෘංගාර ජවනිකාවන්ගේ නැරඹුම්කාමිනිය ලෙසය.

”යාබද කාමරයේ දොරපලූ දෙක අතර දිස්වන, පර්දාවක් තුළ වූ ඇස් දෙකක් මේ අශ්වාරෝහණය නිරීක්ෂණය කරන අයුරු ඔහු දුටුවේය. එක් ගැහැනියක් සමඟ යෙදෙන රමණය තවත් ගැහැනියක බලා සිටින විට ඔහුගේ අනුරාගය පරිකල්පන තාරකා මණ්ඩල සීසීකඩ විහිදුවාලමින් දිව්‍යමය ආශ්වාදයක සුපර්නෝවා පිපිරුමක් සොයා මත්තෙන් මතු අහස් තලයට හෝ ඉනිදු ඔබ්බට නැංගේය.”
(පිටුව56)

එක් අතකින් මේ මුස්ලිම් කාන්තා රූපකය වනාහී, නන්දිකඩාල්වලදී දෙමළ අනෙකා වාෂ්පකර දැමීමෙන් සිංහල මනසේ උපන් සාංකාව විසින් නිර්මාණය කරන ලද ‘විනාශකර දැමිය යුතු’ සිංහල බෞද්ධ නොවන අනෙකාය. සිංහල බෞද්ධ මනස නොසන්සුන් කරන අනෙකාය. සිංහල බෞද්ධ පැවැත්මකට පැවතිය හැක්කේ මෙවන් අනෙකකු පරිකල්පනය කිරීම තුළය.

2014දී දර්ගා නගරයේදීද 2018 දිගනේදීද 2019 කොළඹදීද සිංහල බෞද්ධයාට හමුවනුයේ සිය නවලිබරල් සිංහල ජාතිකවාදී සුරතාන්තය තීව‍්‍රකරනු පිණිස තමා විසින්ම නිර්මාණය කරගත් මුස්ලිම් අනෙකාගේ කඩාවැදීමයි.

ඒ වනවිට විදේශගතව සිටින සුලෝචනා සහ සලිත්ගේ සොහොයුරා ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ සිදුකරන සංවාදය අතරතුර ශ‍්‍රී ලංකාව නම් ජාතික රාජ්‍යයේ ස්ථාන ගණනාවක ‘අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරය’ සිදු වේ.
‘සුලෝචනා අපි පස්සෙ කතාකරමු... දැන් මම තියන්නම්. මෙහෙ පල්ලි දෙක තුනක බෝම්බ වගයක් බ්ලාස්ට් වෙලා. සෑහෙන ගාණක් මැරිලා.”
(පිටුව 139)

බැලූ බැල්මට කෘතිය තුළ අහසින් කඩාපාත්වූවා සේ මතුවන සිද්ධි දාමය සියුම් දේශපාලන ආර්ථික තර්කණයකින් බැඳී ඇති බව පාඨකයාට වැටහී යයි. මෙසේ 1983 කළු ජූලියේ සිදුවීම්වල සිට 2019 අපේ‍්‍රල් මස සිදුවීම් දක්වා කාල පරාසය විෂය කොට ගන්නා නවකතාවේ ප‍්‍රධාන තේමාව ලෙස අප කලින්ද සඳහන් කළ, දකුණේ වාමාංශික ව්‍යාපාරය සිංහල ජාතිකවාදය හමුවේ නිරායුදවීම ඉතා සියුම් හුයක් සේ ඇදී යනු දැකගත හැකිය.

කෙසේවුවද කතාව ඉදිරිපත් කිරීමේදී මතුව ඇති ගැටලූවක් වන්නේ සලිත්ගේ ස්වයංපාපෝච්චාරණය හරහා ගලා යන කතාව එකී සිද්ධි අවස්ථා සම්බන්ධතාව මතුකරලීමට ගන්නා කාලය හා ඉඩ මඳකමයි. එබැවින් මෙකී ‘ස්වයංපාපෝච්චාරණ ආකෘතිය’ විසින් මුල මැද අග විසම්බන්ධිත කරමින් ඉදිරිපත්කරන තොරතුරු සමුදාය පාඨක මනසක් තුළ තර්කානුකූල හුයකින් ගෙතීම නම් කාරණය කොතරම් දුරට සාර්ථක වී ඇත්ද යන්න යළි අවධානයට ගත යුතු කරුණක්ව ඉතිරි වී ඇත. මන්ද, කතාව තුළදී කතුවරයා මතුකිරීමට උත්සාහ දරන සමුදයාර්ථය මතුවනුයේ මේ සිද්ධි දාමය එක පෙළට පාඨක මනසක පෙළගැසීම මතය. නවකතාවේ දේශපාලන ආර්ථික මානය මතුවන්නේ ඒ තුළය. රචනයේ සංක්ෂිප්තභාවය හා ආඛ්‍යානයේ විස්තාරිතභාවය අතර ප‍්‍රතිවිරෝධය ඊට බාධා පමුණවයිද යන්න යළි සිතාබැලිය යුතු කරුණක් ලෙස ඉතිරිව ඇත.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?