වහල්භාවයෙන් නිදහස්වනු පිණිස ඉතිහාසයෙන් සාක්ෂි කැඳවීම


සාහිත්‍යකරුවා ඉතිහාසඥයෙක් වන අතරම ඉතිහාසඥයෙකු ද නොවන්නේ ය. ඔහුට ඉතිහාසය මඟ හැර යා නොහැකි වන අතරම ඉතිහාසය අබිබවා යාමට ද සිදුවේ. මන්ද ඉතිහාසය වාර්තා කරනුයේ තිබූ ආකාරයෙන් පමණි. එසේ සිදු වූයේ කෙසේද යන්න ඉතිහාසඥයා අනාවරණය නොකරයි. ඒ බැවින් සාහිත්‍යකරුවාහට ඉතිහාසයේ එසේ සිදු වීමට හේත වූ සංකීර්ණ මානව ක‍්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට සිදු වේ. එම චලනයන් නැවත මිනිසා වෙත පෙරලා බලපෑම් කරන ආකාරය හෙළිදරව් කිරීම සඳහා සුසරකරගනු ලැබූ මානවවාදයක් ඔහු සතු විය යුතුය. ඉතිහාසකරුවා අබිබවායාමට සාහිත්‍ය කරුවා මතුව එන්නේ එවිටය.

ඉසබෙල් අයියන්දේගේ Island Beneath the Sea නම් වූ මෙම කෘතිය, ‘මුහුද යට දිවයින’ ලෙසින් පරිවර්තනය කරනු ලබන්නේ නිලූක කදුරුගමුව විසිනි. ඉතිහාසයේ පැවති වහල් මෙහෙය සහිත යටත් විජිත අධිරාජ්‍ය සමය මෙහි කාල පරාසය නියෝජනය කරනු ලබයි.

කෘතිය ‘මුහුද යට දිවයින’ ලෙසින් කතුවරයා නාමකරණය කරනු ලබන්නේ  හයිටිහි වහල් මිනිසුන් විශ්වාස කරනු ලැබූ මිථ්‍යාමය සිතුවිල්ලක් ඇසුරිනි. ඔවුන් විශ්වාස කළ පරිදි තමන් මිය ගිය විට මුහුද යට දිවයිනට යන වගයි. එහිදී සමකාමී දිවියක් ගෙවන  තම මිය ගිය මුතුන්මිත්තන් සමඟ එක්වීම ඔවුන්ගේ ද අපේක්ෂාව විය.
කතාවෙහි ප‍්‍රධාන චරිතයක්  වන තුලූස් වල්මෝරැං ආරම්භයේ අපට හමුවන්නේ ප‍්‍රගතිශීලී තරුණයකු ලෙසිනි. ඔහුගේ තාරුණ්‍ය ගෙවී යන්නේ රාජාණ්ඩු විරෝධයක් වන රූසෝ වැනි දාර්ශනිකයන් සම්බන්ධයෙන් උනන්දු වෙමින් හා  දේශ ගවේෂණය සම්බන්ධව දැනුම සොයමින්ය. නිදහස් අදහස් අගය කළ මෙම තරුණයා හයිටි වෙත යනුයේද  තම පියාගේ දේපළ සම්බන්ධයෙන් විගිජිෂාවෙන් යුතුව. එහෙත් හයිට් වෙත ගිය ඔහුගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් සනිටුහන් වන්නේය. ඒ සිය පියාගේ අභාවයි.මේ සමග ඔහුගේ ජීවිතය  අර්බුදයට ගමන් කරනු ලබයි.
 
සිය පියාගේ අභාවයත් සම`ග ඔහුගේ හෘදසාක්ෂිය  දෝලනය වූයේ ඔහු ඉදිරියේ ඇති තෝරා ගැනීම්  දෙක මතය. ඔහු බලාපොරොත්තු වූ ආකාරයට නැවත ප‍්‍රංශය බලා ගොස් විද්‍යාවට කාලය යෙදවිය යුතුය. නැතහොත් හයිටි හි රැඳෙමින් තම පිය උරුමයේ දේපළ බලාගත යුතුය. පිය උරුමයේ වහල් භාවයෙන් ගැලවීමට නොහැකි වන වල්මෝරැං තරුණයා තෝරා ගනු ලබන්නේ දෙවන විකල්පයයි. තම ප‍්‍රගතිශීලී අදහස් පසෙක දමනා ඔහු සැන් ලසාර් වතු යායේ පාලනය බාරගනු ලබයි. ඉන් පසු ඔහුගේ ජීවිතය තීරණය කරනු ලබන්නේ සිය පිය උරුමයවූ සැන් ලසාර් වතුයායයි.
තම හෘද සාක්ෂියට ප‍්‍රතිපක්ෂව කටයුතු කිරීමට ඔහුට සිදුවීමේ ඛේදවාචකය වනුයේ දෙබිඩි දිවියක් ගත කිරීමට සිදුවීමයි. සෑම විටෙකම තම ආධ්‍යාත්මය  පිරිපහදු කර ගැනීමට ඔහු වෙහෙසෙන්නේ තමා අනෙකුත් වතු පාලකයන් මෙන් කෲර නොවෙන බව සිතමිනි. එහෙත් ඔහුගේ වත්ත බලා ගනු ලබන  වැඩ පරීක්ෂක කැම්බ්රේගේ කෲරත්වයේ ඉදිරියේ අනුගමනය කරනු  ලබන නිහඬ පිළිවෙත හරහා ඔහුගේ දෙබිඩි ජීවිතය හෙළිදරව් වේ.

ආධ්‍යාත්මික බැඳීමක් වන පේ‍්‍රමයේදී පවා ඔහුට සිදු වන්නේ තම පන්ති ස්ථාවරයන් සුරක්ෂිත වන අන්දමේ විවාහයක් සිදු කර ගැනීමටය. පේ‍්‍රමය වෙනුවට පන්තිය ප‍්‍රමුඛත්වයක් ලබා දෙන වල්මෝරැං විවාහ දිවිය නීරස එකක් බවට පත් වන්නේ සිය බිරිඳද හයිටි හි පැවති තත්වය තුළදී මානසික ව්‍යාකුලත්වයකට ලක් වීම නිසාවෙනි. ඔහු දැඩි සේ ආදරය කළ ඔහුගේ පුතුද අවසානයේ ඔහුට එරෙහි වන්නේය. ඒ ඔහුට තෘප්තිමත් විය හැකි කිසිදු සාධකයක් ඉතිරි නොකරමිනි. ඔහුගේ දිවියේ අවසන් කාල සීමාව ගෙවීයනු ලබන්නේද සියල්ල අභිමි වූ ශුන්‍යනත්වයේ ආධ්‍යාත්මයක් සමගිනි.

ස්පාඤ්ඤ ආක‍්‍රමණ පැමිණීමයට පෙර හයිටි හි ප‍්‍රථම පුරවැසියන් වූයේ ඇරවක් නමි වු ගෝත‍්‍රික ජන කොටසකි. ස්පාඤ්ඤ ආක‍්‍රමණ හයිටි රාජ්‍යයට පැමිණ වසර 50ක් ගත වන්නටත් මත්තෙන් ‘ඇරවක්’ ගෝති‍්‍රකයන් සියල්ල සමූල ඝාතනය කර ඇත. කෘතිය තුළින් අනාවරණය වන පරිදි එකල ප‍්‍රංශ අධිරාජ්‍යයේ ආදායමින් 1/3 ක ප‍්‍රමාණයක් සපයා තිබුණේ හයිට් හි විසූ වහල් ශ‍්‍රමය මඟිනි. ප‍්‍රමාණයේ සත්‍ය අසත්‍යතාවය පිළිබදව ගැටලූකාරිත්වයක් පැවතියත් ප‍්‍රංශය තම රාජ්‍ය මෙන් 20 ගුණයක් පමණ සුවිශාල භූමියක භෞතික සම්පත් ඇතුළුව මානව ශ‍්‍රමය කොල්ල කන ලද බව ඉතිහාසය සාක්ෂි දරනු ලබයි.

1791 දී මෙම දූපතේ විසූ වහල් භාවයට පත් කරනු ලැබූ මිනිසුන් ගෙන ගිය අඛණ්ඩ අරගලය ජය ලබමින් හයිටි රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. ඒ සඳහා ඔවුන්ට ගෙවන්නට වූ මිනිස් ජීවිත ප‍්‍රමාණය ඉතා විශාලය. නමුත් පීඩාවෙන් ජීවත්වනවා වෙනුවට පීඩාවට එරෙහිව සටන් වැද මිය යාම ඔවුන් තොරාගනු ලැබුණි. හයිටි හි වහලූන්ට සටන් කිරීම සඳහා ධෛර්යය සැපයූ  වහල් නායකයන් රැසක් ගැන කෘතියෙන් ආනාවරණය වන්නේය. ‘මකන්දාල්’ ඒ අතර ප‍්‍රධන චරිතයකි. ඔහු වහල්භාවයට විරුද්ධව සටන් කර මිය යන්නේ වහල් අරගලයේ සංකේතයක් බවට පත් වෙමිනි. ලතින් අමෙරිකානු කලාපය තුළ යටත් විජිතකරණයෙන් මිදුනු පළමු ස්වාධීන රාජ්‍යය බවට පත් වීමේ හැකියාව ඔවුන් අත් පත් කරගත් අයුරු කෘතිය තුළින් හෙළිදරවූ කරනු ලබන්නේ එසේය.
සමාජ ක‍්‍රමයක් ලෙසට සෘජු වහල් සමාජය ක‍්‍රමය බිඳ වැටීමේ අවසන් වීමේ පෙරලකුණු පෙනෙන්නට පැවතියත් එහි නෂ්ටාවශේෂ වහල් භාවයට පත් වූවන් මත එල්ල කරනු ලැබූ බලපෑම් අඩුවක් නොවූ බව කෘතිය තුළින් හෙළි වේ. කෘතිය තුළින් අනාවරණය වන පරිදි වහල්භාවයෙන් මිදීමට නම් වහලාට වසර 30 පූර්ණ විය යුතුය. එසේ වසර 30 පූර්ණ වීමෙන් අනතුරුවද දින 40ක් යන තෙක් කිසිදු චෝදනාවක් එල්ල නොවෙනා තුරු බලා සිටීමට ද සිදුවේ. තවද වහල්භාවයට පත්වූවන්ට අධ්‍යාපනය අහිමි වීම තුළ තමා උපන් වකවානු හෝ දින මාස අවුරුදු සම්බන්ධව ඔවුන්ට අවබෝධයක් නොමැත. කෘතියේ එන ‘තෙතේ’ නම් තරුණියද අවුරුදු 35ක් තෙක් රඳවා ගැනීමට තුල්ස් වල්මෝරැංට හැකි වන්නේ එබැවිනි.

වහල් භාවයෙන් මිදී නිදහස් පුරවැසියකු වූවාට පසුවත්, වහල් ජීවිත මුහුණ දුන් ඛේදජනක තත්වයකි. තෙතේගේ ජීවිතය කියාපානු ලබන්නේ එයයි. ඇය වහල්භාවයෙන් මිදුණු පසුව යාමට තැනක් හෝ අරමුණක් නොමැති වීම හේතුවෙන් ඇය සිය නිදහස ඉල්ලා සිටීමේදී තුලූස් වල්මෝරූන් ඇයට තර්ජනය කරන්නේ මෙසේය.
”...තෝ ඇඳං ඉන්න ඇඳුම් පවා අයිති අපට ......මේ ගෙදරින් පිටවෙන්න මං තොට පැය බාගයක් දෙන්නම්.අපි බලමු පාරට වැටුනාම තොට මොකද වෙන්නේ කියලා, සේලරුවෝ එක්ක නිදිවදින්න තමයි තොට වෙන්නේ. ඒ වැඬේ විතරයි තොට කරන්න පුළුවන් වෙන්නේ.”

සෙසු වහල් සේවිකාවනුත් සරිතෙ හට එයම පවසනු ලබයි. ඒ ඔවුන්ගේ ජීවිත පිළිබඳව පැවති අවනිශ්චිතතාව නිසාවෙනි. ඔවුන්ටද යාමට තැනක් නොමැත. අද ජීවත් වන්නේ කෙසේද යන්න මිස හෙට දවස ගැන සිතීම ඔවුන්ට කළ නොහැකිය.

රාජ්‍යයක් ලෙසින් ප‍්‍රංශ යටත් විජිතකරණයෙන් මිදීමට හයිටි රාජ්‍යයට හැකි විය. එහෙත් හයිටිහි වහලූන් නැවත වටකින් වහලූන් බවට පත් වන්නේය. ජීවිත දස දහස් ගණනින් කැප කර දිනා ගත් නිදහස යනු ප‍්‍රංශයේ පාලකයන්ගෙන් වහල්භාවයෙන් මිදීම පමණක් විය. ඉන් අනතුරුව ස්වදේශික පාලකයන්ගේ වහලූන් බවට පත් වීමට ඔවුන්ට සිදු වූ අයුරු කෘතිය තුළින් හෙළිදරව් වේ.

ප‍්‍රංශ විප්ලව සමය වන විට ධනවාදය මුහුණ දී තිබූ අර්බුදයත්, මැද පන්තිකයන් හා පීඩිත වහලාත් ධනේශ්වර දෘෂ්ටිවාදයේ ගොදුරු වී ඇති අයුරු නිරූපිත තියුණු දෙබසක් කෘතිය තුළින් හමු වේ. ඒ තුල්ස් ගේ මස්සිනා වූ සැන්චෝ හා තෙතේ නම් වහල් තරුණියත් අතර ඇතිවන්නා පහත දෙබස මඟිනි.

”....එක නිදහස් මිනිසෙක් කැමැත්තෙන් කරන වැඩක් කරන්න අකමැත්තෙන් වැඩ කරන වහල්ලූ කිහිපදෙනෙක්  ඕනෑ. තේරුණාද?”
‘ටිකක් විතර’

මේ සෑම දෙයක්ම අන්ත්වාන් පියතුමා සමඟ කියන්නට මතක තබා ගනිමින් තෙතේ කීවාය.
‘වහලෙකුට දිරිදීමනාවක් නෑ.ඒ වහලා කරන වැඩෙන් වාසිය තියෙන්නේ එයාගේ ස්වාමියාට පමණක් නිසා හෙමින් සහ නරක විදිහට වැඩ කිරීම ඒ මිනිහට වඩාත් හොඳයි. ඒත් නිදහස් මිනිස්සු සල්ලි ඉතුරු කරලා දියුණු වෙන්න මහන්සිවෙලා වැඩ කරනවා ඒක තමයි ඒ අයට ලැබෙන දිරිදීමනවා’
‘සැන් ලසාර් වත්තෙදී නම් කැම්බ්රේ මහත්තයාගේ කසය තමයි දිරිදීමනාව’ ඇය කීවාය.
‘ඉතින් ඒ කොලනියට අන්තිමට මොකක්ද වුණේ කියලා ඔයා දැක්කනේ තෙතේ. කාල නියමයක් නැතුව බය කියන එක මිනිස්සු මත පටවන්න බෑ.....”
 තෙතේගේ සිට තුලූස් වල්මෝරැං දක්වා සියලු චරිත තුළ පවත්නා පොදු මනෝභාවක් කෘතිය තුළින් හෙළිදරව් කර ගැනීම හැකිය. එනම් සෑම චරිතයකම අරමුණ වන්නේ පන්ති ස්තරය තුළ ඉහළට යාමය. කෘතියේ එන ප්ලසාජ් විවාහ ක‍්‍රමය ද එයට එක් නිදර්ශනයක් වේ. වහල්භාවයට පත්ව නිදහස ලැබූ වහල්ලූන් පන්ති ස්තරය තුළ ඉහළට යාමට යොදාගත් තවත් එක ක‍්‍රමයක් විය. ප්ලසාජ් විවාහයක් යනු ධනවත් සුදු ජාතිකයන් තාවකාලික ලෙස කළු-සුදු සම්භවයක් ඇති තරුණියන් විවාහ කර ගැනීමය. මෙය විවාහයක් ස්වරූපයෙන් සිදුවන ගනුදෙනුවකි. තරුණියට මාසික වේතනයක් හිමි වන අතර. සුදු ජාතිකයාට අවශ්‍ය වූ විට විරෝධත්වයකින් තොරව තරුණිය ඉවත් විය යුතුය. දෙපාර්ශ්වය එකඟ වන කොන්දේසි අනුව ගනුදෙනුව සිදු වන්නේ ඒ ආකාරයෙනි.

කතා ශානරයක් ලෙසට ඓතිහාසික නව කතා ශානරය භාවිත කරන කතුවරිය අඛ්‍යත ශෛලිය ලෙසට දෘෂ්ටිකෝණ  සංකලනය භාවිත කරයි. ඒ අනුව උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය හා ප‍්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය යොදා ගැනීම  මෙම නවකතාවට සජීවී බවක් ලබාදී ඇත. විටෙක තෙතේගේ ඇසින් බලන පාඨකයාට තවත් විටෙක ඇගෙන් බැහැරව කතාවට ප‍්‍රවිෂ්ට වීමට හැකිවේ එසේම මෙම නවකතාව තුළ ලේඛිකාව අධි යථාර්ථවත් ලක්ෂණ භාවිත කරනු ලැබූවත් ඇතැම් විටෙක පුරාණෝක්ති තම කතා තේමාව ගොඩනැංවීමට භාවිත කිරීම හරහා යථාර්ථවාදයේ සීමාවන් බොඳවෙන අවස්ථාද දැකගැනීමට හැකිවේ.

ඉතිහාසය අවසන් යයි පවසනු ලැබූවේ ෆුකුයාමාය. එහෙත් ඉතිහාසය අවසන් නොවූ බවත් සිදු වී ඇත්තේ තම ස්වරූපය වෙනස් කර ගැනීමත් බවත් මුහුදයට දිවනට යන පාඨක හදතුළ දෘශ්‍යමානවේ මන්ද සමාජ ක‍්‍රමයක් ලෙසින් සෘජු වහල් සමාජ ක‍්‍රමය අවසන් වුවද වහල් භාවය අහෝසි වී නොමැති නිසාවෙනි. අද දවසේ තියුණු දේශපාලන අරගලය බවට පත් වී ඇත්තේද වහල් ක‍්‍රමයේ වෙනස් වූ ස්වරූපය පෙන්වාදෙමින් පෙර වහල් බවයේ සිටි වහලාගේ ස්වරුපය බවට පත් වී ඇති කම්කරුවා ඇතුළු සමාජය සැබෑ නිදහස උරුම කර දීමය.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?