‘සතුටින්ම සිටින මිනිසුන්’ අතර හිඳ ‘භීතියෙන්ම ජීවත් වීම What Will People Say


2017 වසරේ නිෂ්පාදනය වූ What Will People Say සිනමා පටය  ඉරාම් හක් නැමැති පකිස්තාන නෝවීජියානු තරුණ සිනමාකරුවා විසින් රචනා කරන ලදුව තමා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද්දකි. ඔහුගේ දෙවන සිනමා අත්දැකීම ලෙස හැඳින්විය හැකි මේ නිර්මාණය දකුණු ආසියා විදෙස් ශ‍්‍රමිකයන්ගේ ජීවන වෘතාන්තය ඇසුරෙන් ඔහු ලද පෞද්ගලික අනුභුතිකයක් මුල් කර ගනිමින් සිනමාවට නැගුවකි.

පකිස්තානය අතැර අතිශය අපහසුවෙන් යුරෝපය ඇතුළු වී බටහිර දිග රාජ්‍යයන්ට සංක‍්‍රමණය වී එම රටවල දහදුක් විඳිමින් පහළ මැද පන්තික ජීවිතයක් ගත කරන පකිස්තාන පවුලක යොවුන් වියට එළඹි තරුණ දියණියක මුහුණ දෙන සංස්කෘතික ගැටුම චිත‍්‍රපටයට ප‍්‍රස්තුත වී තිබේ. ඒ අර්ථයෙන් මේ චිත‍්‍රපටය හුදෙක් පකිස්තානු පවුලකට සීමා කළ යුතු අත්දැකීමක් නොවන බවත් දකුණු ආසියානු කලාපයේ සිට විදේශ රාජ්‍යයන් වෙත සංක‍්‍රමණ වූ බොහෝ පවුල්වලට පොදු වූ ඛේදවාචකයක් බවත් පැවැසිය හැකිය.

ආර්ථික අරමුණු වෙනුවෙන් තම මව් රාජ්‍යයේ දේශ සීමා ඉක්මවා යෑමට පසුබට නොවන මෙබදු පවුල්වලට සංස්කෘතිකමය වශයෙන් එම සීමා සමතික‍්‍රමනය කිරීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් මෙකී පවුල්  හා එම පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන මානසික හා අධ්‍යාත්මික ගැටලූ පිළිබඳ කලාත්මක පර්යාවලෝකනයක් සිදු කිරීමට සිනමාකරුවා, මෙහිදී සමත් වේ. මෙකී පවුල්වල වැඩිහිටි පරම්පරා තම මව් රාජ්‍යන්ගේ මූල මණ්ඩලයන්ගෙන් මිදීමට නොහැකිවීමත්  තරුණ පරම්පරාවට එම සංස්කෘතික භූගෝලීය කලාපයන්හි මුල් ඇදීමට නොහැකි වීමත් පරම්පරා ගැටුමක් ලෙස ප‍්‍රකාශයට පත් වන ආකාරය ඉදිරිපත් කිරිම සඳහා සිනමාකරුවා යොදා ගනුයේ අතිශය පොහොසත් සිනමාරූපී බසකි.

දහසය හැවිරිදි නිශාගේ චරිතය කේන්ද්‍රකර ගනිමින්. මේ අර්බුදය සංකේතවත් කරන ඉරාම් හක් , සිනමා පටයේ ආරම්භයේ සිට ම ඇයට ගත කිරීමට සිදු වී ඇත්තේ ලෝක දෙකක බව නිරූපනය කරයි. ඉන් එක් ලෝකයක ඇය සාමාන්‍ය නෝර්වීජියානු නව යොවුන් තරුණියකි. එහෙත් අනෙක් ලෝකය ඇයගෙන් අපේක්ෂා කරනුයේ    පරිපූර්ණ පකිස්තානු දියණියකි. ඇය මේ භූමිකා  දෙක ම නිරූපණය කිරීමට උත්සාහ කරන නමුත් එය කෙටිකලකින් අවසන් වනුයේ සිය නෝර්වේජියානු පෙම්වතා ඇයගේ කාමරයේ සිටියදී ඇයගේ සාම්ප‍්‍රදායික පියාට හසු වීමත් සමඟ ය.

උතුරු යුරෝපීය ස්කැන්ඩිනේවියානු රාජ්‍යයක් ලෙස සැලකෙන නෝර්වේ රාජ්‍යයට දෙවන ලෝක යුද්ධයෙන් පසු වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගත අතර පළමු දශක දෙක තුළ දී අපනයනය, වෙළඳ හා ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීමත් 1970න් පසු තෙල් සහ ස්වාභාවික වායු නිධි හමුවීමත් හේතුවෙන් මූල්‍ය වටිනාකම්වලින් පොහොසත් ම රාජ්‍ය බවට පත්වීමට  හැකි විය. එක්සත් ජාතීන්ගේ වර්තාවකට අනුව ලේකයේ වඩා පී‍්‍රතිමත් ජනයා දිවි ගෙවන රට ලෙස ද නෝර්වේ රාජ්‍ය සැලකේ. නිශාගේ සම්පුර්ණ ළමාවිය නොහොත් ළමාවියෙන් සැලකිය යුතු කාලයක් ඇය ගතකරන්නට ඇත්තේ මෙබදු සමාජයක ය. එය පුද්ගල නිදහස හා වාරණයේ නිදහස පිළිබඳ ලිබරල් දේශපාලන මතවාද විසින් හික්මවන ලද සමාජයකි. තමන්ට අවශ්‍ය විනෝද මධ්‍ය පරිශීලනය කිරීමටත් පුද්ගලයන් ඇසුරු කිරීමටත් එහි ඇති නිදහස නිශාගේ පවුල තුළින් ඇයට හමු නොවෙයි. එනයින් ඇය නෝර්වේ තුළම කුඩා පකිස්ථානයක ජීවත් වන්නියකි. සතුටින් ම සිටින මිනිසුන් අතර සිට භීතියෙන්ම සිටින පවුල වෙත පැමිණෙන්නියකි.

මෙකී පකිස්තානු සමාජය තුළ විෂම ස්තී‍්‍ර - පුරුෂ සමාඟමය අර්ථ ගැන්වෙන්නේ හුදු ලිංගිකමය ඇඟවුමකිනි. එසේ එබඳු සබඳතා විවාහයෙන් කෙළවර විය යුතුය. ඒ හැර වෙනත් සබඳතා පැවතිය නොහැකි අතර නිශා තම නෝර්වේජියානු පෙම්වතා අතැර දැමීම වටහා ගැනීමට තරම් විද්‍යාවක් පකිස්තානු පියා ඇතුළු එම පකිස්තානු සාම්ප‍්‍රදායික සමාජයයට හිමි නොවේ. ඇය මැදිවී සිටින ආධ්‍යාත්මික ගැටලූව වෙනුවට ඇයගේ දෙමාපියන් මුහුණදී සිටිනුයේ තම සමාජය තුළ සිය පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳව ගැටලූටය.
ඊට වන්දි වශයෙන් නිශාට සිදුවනුයේ නෝර්වේ අතහැර පකිස්තානයට ගොස් ඤාති නිවසක සිරගත මෙහෙකාර දුක්කිත ජීවිතයක් ගත කිරීමට ය. ඇය එම නිවසෙහි නවතා නික්ම යෑමට සුදාම් වන පියා ඇය වෙත විස්කෝතු ප‍්‍රදානය කිරීමට දරන උත්සාහය සිනමාපටයේ  අති ප‍්‍රබල  සිනමාත්මක රූප සටහනකි. පියාගේ අසරණ කමත් සිය දියණියගේ අධ්‍යත්ම ලෝකය පිළිබඳ වන  අනවබෝධයත් යන දෙඅංශයම එකවර ප‍්‍රර්ශනය කිරීමට එහිදී සීනමා කරු සමත්වේ. සිනමාව යනු හුදු   කතා කීම වෙනුවෙන් හෝ කුතුහලය සංසිදුවීම වෙනුවෙන් පවතින මාධ්‍යත් නොව බව ඉරාම් හක් සනාත කරනුයේ එප රදිය.

මෙහි පවත්නා වඩා උත්ප‍්‍රාසජනක කරුණ වන්නේ තම සමාජ ගෞරවය හා අභිමානය වෙනුවෙන පකිස්තනයේ සිරගත කළ නිශා තම මව් රාජය තුළදී පොලිස් නිලධාරීන් ඉදිරියේ නිරුවත් වීමට හා දුෂණය වීමට ලක්වීමයි. සදාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය පිළිබඳව එතරම් සැලකිලිමත් වන පකිස්තානුවෙකගේ දියණිය එම සමාජයේම පොලිසිය අතින් දූෂණයට ලක්විමට සිදු වීම කවරාකාර අයුරේ උත්ප‍්‍රාසජනක කරුණක්ද යන්න  පැවසිය හැකි ප‍්‍රස්ථා පිරුලක් තවම සොයාගෙන නැත. ආගමික හා වාර්ගික වශයෙන් පෙන්නුම් කරනු ලබන සංස්කෘතිත දරිද්‍රකම් වඩා ගැඹුරු හානියක් සිදු කරනුයේ   බැහැරට නොව තම ආගමික වාර්ගික ජන කණ්ඩාම්වල  අභ්‍යන්තරයටම බව දක්වන සිනමා කෘතියක්  ලෙස මෙය මේ මොහොතේ අන්තවාදී සිංහළ බොද්ධයන් මෙන්ම මුස්ලිම් ඉස්ලාම් පේ‍්‍රක්ෂකාගාරයක් තුළ ප‍්‍රදර්ශණය කිරීම කදිම අභා්‍යසයක් වනු ඇත.
මේ සිනමාපටය විසින් මතු කරන මෙකී සංස්කෘතික තර්කනයට අමතරව පේ‍්‍රක්ෂකයාගේ අවධානය විශේෂයෙන් යොමු කළ යුතු දාර්ශනික ක්ෂේත‍්‍රයක්ද පවතී.   සිනමා පටයේ සංඥා නාමයන්  වෙතින් වඩා ප‍්‍රබල ලෙස මතු වනුයේ උක්ත සාච්ඡුා කරන ලද සංස්කෘතික කාරණය නොව  මෙකී දාර්ශනික සංකථනය බව පෙනීයයි. එනම් ‘අනෙකා’ (The Other) නමැති දාර්ශනික සංකල්පයයි. What Will People Say යන්නෙහි ගැබ් වී ඇති ප‍්‍රධානතම හැඟවුම එයයි. මිනිසුන් තමන් වෙනුවෙන් ජීවත්වීම පසෙකලා වූ අනුන් වෙනුවෙන් ජීවත්වීමට උත්සාහ දැරීම හේතුවෙන් මුහුණ දෙන අර්බුදය එම දාර්ශනික එළඹුම මඟින් වටහා ගැනීමට අපි මේ ලිපියේ ඉතිරි අර්ධය වෙන් කරමු.

අනෙකා නැමැති සංකල්පය ප‍්‍රථම වරට ඉදිරිපත් කරමින් ෆෙඞ්රික් හේගල් (1770-1831) නමැති ජර්මානු දාර්ශනිකයා  පෙන්වා දෙන්නේ මිනිසුන් ‘අනෙකා’ වෙනුවෙන් ජිවත්වීමට ගොස් ‘අනෙකාගේ’
වහලෙකු බවට පත්වන බවයි. ඒ අනුව මහ සමාජය තුළ මිනිසුන් පවත්වාගෙන යන්නේ ස්වාමියා සහ වහලා අතර පවතින ඝණයේ බැඳීමකි.

On approaching the Other,  it has lost its own self, since It finds yourself as another being. Secondly,  It has thereby subleted the other, for it does not regard the other as essentially real but sees is ownself in the other.
George Wilhelm Friedrich Hegel   - The Phenomenology of Spirit (1807)

,අනෙකකු වෙත ළගාවෙමින් අනෙකාගේ ස්වභාවයෙන් පෙනී සිටින්නට දරණ උත්සාහයේදී තමන්ට තමන් අහිමි වන බවත් එනයින් අනෙකා වෙනුවෙන් ජිවත් වීමට දරන ප‍්‍රයත්නය යනු සැබෑ ලෙසම අනෙකා තකනවා යන්න නොව තමා අනෙකා තුළ දැකීමත් පමණත් බව මෙහිදී හෙගල් පෙන්වා දෙයි. මෙය අපගේ සිනමා කෘතියට අදාළව කියවා ගන්නේ කෙසේද?“

අපගේ අවධානයට ලක්වු ඉහත සඳහන් සාම්ප‍්‍රදායික පකිස්තානු පවුලේ වැඩිහිටියන් තම ජිවිත පවත්වාගෙන යනුයේ සැබෑ ලෙස ම තම අවශ්‍යතාවන්ට හෝ ආශාවන්ට අනුව නොවන බව මෙහිදී පසක් වෙයි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් කෑම බීම හා සිරිත් විරිත් යනාදී සියල්ල තීරණය කර ඇත්තේ ඔවුන් නොව ඔවුන්ගේ අනෙකාය, සාම්ප‍්‍රදායික මුස්ලිම් සංස්කෘතික හෙජමොනිය. සිනමා පටයේ ප‍්‍රධානතම ගැටලූව වන නිශා සුදු පිරිමියෙකු සමග නිදන කාමරයේදී හසු වීම සම්බන්ධයෙන් එම පකිස්තානු පවුල දක්වන ප‍්‍රතිචාරයන්ගෙන් පැහැදිලි වන්නේ එම අර්බුදයයි.

ඇයගේ සම්බන්ධයෙන් ඔවුන් බියපත් වනුයේ ‘අනෙකා’ ඒ සම්බන්ධයෙන් කවරක් සිතනු ඇද්ද, කවරක් කියනු ඇද්ද, නොහොත් තම පවුලේ නම්බුව කුමක් වනු ඇද්ද යන තර්කයන්හි පිහිටා මිස සැබැවින් ම තම දියණියගේ අනාගතය සම්බන්ධයෙන් බියපත් වී නොවන බව පෙනීයයි. ඒ අයුරින් සැබැවීන් ම තම දියණියගේ අනාගතය සම්බන්ධයෙන් බියපත් වූයේ නම් ඇය පකිස්තානු මුඩුක්කුවක සිරගත කිරිමට එම දෙමාපියන්ට හැකි වන්නේ නැත. ඉන් නොනැවැතී ඇය පකිස්තානයේ සිරගත කර යන විට ඇයට බිස්කට් දිගුකළ පියා පකිස්තානයේදී ඇය යළිත් අපවාදයට  ලක් වූ පසු ඇය ඝාතනය කිරීමට උත්සාහා දරන්නේ නැත.

මේ අනුව මේ පකිස්තානු පවුල හැඳින්විය හැක්කේ ‘අනෙකාගේ’ වහලෙකු බවට පත් වූ පවුලක් ලෙසය. ‘අනෙකා‘ ස්වාමිත්වයට පත් කොට ඔහුගේ සතුට වෙනුවෙන් කටයුතු කිරිම මේ වහල් පවුලේ සැබෑ භූමිකාව වී අති බව සියුම් ලෙස නිරූපණය කිරීමට සීනමාවේදීයා සමත් වී ඇති බව කිව යුතුය. හැම විටම වහලා කි‍්‍රයාත්මක වනුයේ ස්වාමියාගේ සතුට වෙනුවෙන් මිස තමාගේ සතුට වෙනුවෙන් නොවන බව ඉරාම් හක් පෙන්වාදෙයි. එය පරාර්ත කාමිත්වයක් නොව හුදු වහල් මානසිකත්වයක් පමණි.

එහෙත් මෙහි නිරූපණය වන නිශාගේ චරිතය එම සම්ප‍්‍රදායික පකිස්තානු පවුලේ වහල් මානසිකත්වයට එරෙහිව කි‍්‍රයාත්මක වන චරිතයයි. ඇය සිනමා පටයේ ආරම්භයේ සිටම තමාගේ ස්වාධීනත්වය වෙනුවෙන් කි‍්‍රයාකාරී වීමට උත්සාහ දරයි. චිත‍්‍රපටය අවසන්වනුයේද එබඳුම පුද්ගල කැරැුල්ලක් දියත් කිරීමට යොමුවන නිශාගේ දර්ශනයකිනි. ඇයගේම එම කැරැුල්ල පේ‍්‍රක්ෂකයාටත් වඩා දර්ශනය වනුයේ ඇයගේම පියාටය. එය සිනමා කෘතියේ ප‍්‍රබලතම රූප රාමුව ලෙස පේ‍්‍රක්ෂකයා කම්පනයට පත් කිරීමට සමත් දුර්ලභ සිනමාත්මක ප‍්‍රකාශණයකි.

ඇයට කුමක් සිදුවනු ඇත් ද? ඇයගේ ජීවිතය මේ හුදකලා පුද්ගල කෑරැල්ල හේතුවෙන් සැබැවින්ම සුවපත් වනු ඇත් ද? නොඑසේ නම් සමාජය තුළ කවර අනාත අසරණ තත්වයකට පත්වනු ඇද්ද? සිනමාකරු මේ ප‍්‍රශ්න සඳහා පිළිතුරු සම්පාදනය නොකරයි. එහෙත් ලෝකයේ කවර පෙදෙසක වුව දිවි ගෙවන පහළ මැද පාන්තිකයාගේ ජීවිතය පිළිබඳ දුක්ඛ සත්‍ය කලාත්මකව ඤාණනය කරයි.

ඔවුනට තම ජීවිත ගත කරන්නට සිදු වන්නේ අනුන් වෙනුවෙනි. එය මධ්‍යම  පාන්තිකයාගේ ජීවන මාර්ගය වේ.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?