ශක්තික සත්කුමාර සිරගත කිරීම - නිර්මාණකරණයේ නිදහස ආරක්ෂා කරනු!
'අර්ධ‘ නමින් කෙටි ප‍්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අවස්ථාවේ ප‍්‍රවීන ලේඛකයකු ලෙස එය ලියු ශක්තික සත්කුමාර එය මේ තරම් අපරාධයක් වශයෙන් සලකනු ලබතැයි සිතන්නට නැත. මේ වනවිට කවිය, කෙටිකතාව, නවකතාව පමණක් නොව විචාර කලාවේ යම් ප‍්‍රවීනත්වයක් ලබා සිටින ශක්තික, සාහිත්‍ය ඇසුර ලබන්නට උත්සුක වන පාසල්වල හා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මග පෙන්වන කෘති ගණනාවක කතුවරයෙකි. එය එසේ වූ පමණින් සියල්ල සරල සුගම ලෙස සිදු නොවන බව ශක්තික මෙන්ම අපිද දනිමු. ශක්තිකට දැන් සිදුව ඇත්තේ සිපිරිගෙදර සිට තමන් ලියු නිර්මාණය පිළිබද පශ්චාත්තාපයෙන් බලා සිටින්නට යැයි කිවහොත් එය අර්ධ සත්‍යයකි. එක් අතකින් යම් නිර්මාණයක් බිහිකරන ලේඛකයකු එය පරදුවට තබන්නට එකග වන්නේ නැත. අනෙක් අතින් යම් නිර්මාණයක් කළ පමණින් ලේඛකයකු බිහිසුණු අපරාධකරුවකු ලෙස සළකා සිරගත කරන්නේ නම් එවැනි සමාජයක නිර්මාණකරණයක් හෝ සාහිත්‍ය කලාවේ ප‍්‍රගමනයක් අපේක්ෂා කළ නොහැකිය.
පොල්ගහවෙල පොලිසිය විසින් ලේඛකයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ආගමික ඇදහිල්ලට අගෞරව කරන ප‍්‍රකාශනයක් සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කළ බවට චෝදනා කරමින් නම් එහි යම් සාධාරණත්වයක් ඇත. එහෙත් සිදුව ඇත්තේ කිසිදු ලියාපදිංචියක් හෝ පූර්ව ක‍්‍රියාකාරකම් නැති නාමික සංවිධානයක ලිපි ශිර්ෂය යටතේ බෞද්ධ භික්ෂුවක් විසින් කළ පදනම් විරහිත චෝදනාවක් යටතේ ලේඛකයකු සිරගතකර අසාධාරණ චෝදනා එල්ල කිරීමය.
දෙදරු පියකුවන ශක්තික අපේ‍්‍රල් මස 1 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද්දේ ශක්තික විසින් ෆෙස්බුක් ජාලයේ පළකරන ලද කෙටි ප‍්‍රබන්ධයෙන් ආගමික ඇදහිල්ලට අගතියක් සිදුවන බවට ප‍්‍රදේශයේ ‘ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බුදු දහම රැුකගැනීමේ යොවුන් පෙරමුණ‘ නමින් ලිපි ශීර්ෂයක් සහිතව කරන ලද ලිඛිත පැමිණිල්ලක් මතය. පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙම කෙටිකතාව නිසා විශාල මහජන කැළඹීමක් හටගත් බවය. එහෙත් එවැනි කැළඹීමක් මහජනතාව අතර මේ දක්වා සිදුව නැති නමුත් පොලිසියේ කරුණු දැක්වීම මත අධිකරණය ක‍්‍රියාත්මක වේ. අලූත් අවුරුදු දිනයේ පියා සමඟ ගතකරන්නට කුඩා දරුවන් දෙදෙනකුට වරම් අහිමි කෙරිණි. පොල්ගහවෙල පොලිසිය විසින් මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුට විරුද්ධව චෝදනා නගා ඇත්තේ මහාධිකරණයෙන් පමණක් ඇප නියම කළ හැකි නීතියක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත (ICCPR) යටතේය. මෙහිදී පොල්ගහවෙල මහේස්ත‍්‍රාත්වරයා, පොලිසියේ ඉල්ලීම අනුව, ලේඛක ශක්තික සත්කුමාර අපේ‍්‍රල් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ශක්තික ලියූ ‘අර්ධ’ නමැති කෙටි කතාව, පෙබරවාරි මාසයේදී සමාජ මාධ්‍යයේ පළ වීමෙන් පසුව භික්ෂුන් පිරිසක් ශක්තික සේවය කරන පොල්ගහවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා පැන ලේඛකයාට එරෙහිව බැණ වදිමින් ඔහුට දඩුවම් කරන ලෙසත් වෙනත් ස්ථානයකට මාරුකර යැවිය යුතු බවටත් ප‍්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩල ප‍්‍රධානීන්ට බලපෑම් සිදුකර තිබුණි. ඉන්පසුව, මාර්තු 13 වැනිදා කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට කැඳවා ප‍්‍රකාශයක් ලබාගැනීමට ඔහුගේ සේවා ප‍්‍රධානීන් ක‍්‍රියා කර තිබේ. මේ අනුව ශක්තික සත්කුමාර වරදක් සිදුකළාද නැද්ද යන්න අධිකරණයෙන් තීන්දුකරන්නට පෙරාතුව භික්ෂුන් මැදිහත් වී ඔහුගේ රැුකියා ස්ථානයට බලපෑම්කර ඔහුගේ බිරිය, දරුවන් දෙදෙනා සමග අසරණ තත්වයට ඇද දමන්නට ද්වේශ සහගත ක‍්‍රියාදාමයකට එළඹී ඇති බව පැහැදිලිය. රජයේ නිලධාරින්ද ඒ අන්තවාදී රැුල්ලට ගසාගෙන යන බවක් පෙනී යයි. එසේ නම් යුක්තිය ඇත්තේ කොහේදැයි අසන්නට අපට සිදුව ඇත.
ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීරණය වී ඇත. මැයි 21 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නීතිඥවරිය පැවසුවේ වැඩිදුර විමර්ශනය සඳහා පොලිසිය කටයුතු කරමින් සිටින බවය. එහෙත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේ පොලිසිය සාධාරණ හේතුවකින් තොරව ලේඛක සත්කුමාර රදවා සිටින බවත් අත්අඩංගුවට ගෙන මාසයකට අධික කාලයක් තුළ සිදුකර ඇත්තේ ඔහුගේ ගිණුම් වාර්තා පරික්ෂා කිරීම පමණක් බවත්ය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා තමන්ගේ උසස්වීම් හා සේවා වාර්තාවලට බලපෑම් සිදුවන බැවින් පොලිස් නිලධාරින් කලබල වී ඇති බවද එම පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ නම් ශක්තික නිදහස් කිරීම සදහා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැකි බවද නම් ගම් හෝ හැඳුනුම්පත් නොමැතිව හදිසියේ පැමිණෙන සිවිල් ඇදුමින් සැරසුනු පුද්ගලයන් ශක්තික සත්කුමාරගේ බිරියට හා හිතවතුන්ට බලපෑම් කරමින් සිටී. එසේම ශක්තික විසින් පළ කළ කෙටිකතාව අන්තර්ජාලයට එක් කළ බවට චෝදනා කරන්නට වාරියපොළ නගරයේ තරුණයකුට පොල්ගහවෙල පොලිසියට එන ලෙසද බලපෑම් සිදුකර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි විමර්ශනයක් සිදුකරද්දී අදාළ ප‍්‍රදේශයේ පොලිසිය විසින් කරන නිල දැනුම්දීමකින් මිස පුද්ගල මට්ටමෙන් දැනුම්දීමක් සිදු නොවේ. මෙහිදී පොලිසිය විසින් දේශපාලන බලපෑම් මත ශක්තික අත්අඩංගුවට ගත් බවටද තොරතුරු අනාවරණය වෙමින් ඇති අතර එය වසන් කරන්නටත් ශක්තිකගේ බිරියට හා හිතවතුන්ට අයුතු බලපෑම් සිදුකරමින් ශක්තික සත්කුමාර තවදුරටත් අත්අඩංගුවේ තබාගන්නට කරුණු එකතු කරමින් සිටින බව පෙනී යයි.
මෙහිදී පොලිසිය විසින් නියෝජනය කරන්නේ රජය බවත් පොලිසිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් පැහැදිලිය. ඒ නිසා ශක්තික සිරගත කර ඇත්තේ රජය විසිනි.
ශක්තික සත්කුමාර යනු දිගු කාලයක් සාහිත්‍ය කටයුතුවල යෙදුනු ලේඛකයකු වන අතර ඔහු කිසියම් සංවිධානයක අරමුදල් ගෙන ආගම් විරෝධී ප‍්‍රචාරයක් ගෙනයන බවට කරුනු දක්වන්නටද පොලිසිය ඇතැම් අවස්ථාවල කරුනු එකතු කරමින් සිටින බවක් පෙනී යයි. මේ අනුව, පොල්ගහවෙල සහ වාරියපොළ පොලිස් ස්ථානවල රාජකාරි කරන ඇතැම් පුද්ගලයන් විසින් ද්වේශ සහගත ලෙස තනි පුද්ගලයකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් ස්වකීය මතය නිර්මාණාත්මකව ඉදිරිපත්කරන ලේඛකයකු අසාධාරණ චෝදනා මත චූදිතයකු කරන්නටත් පූර්ව නිගමන ඔස්සේ වැරදිකරුවෙක් කරන්නටත්, ද්වේශ සහගත ක‍්‍රියාදාමයක් ක‍්‍රියාත්මකව පවතී. ශක්තික සත්කුමාර විසින් සිතීමේ නිදහස හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය යන මූලික අයිතිවාසිකම් භාවිත කරමින් පළ කළ නිර්මාණය නිසා ඔහු පීඩාවට පත් කිරීමට ලංකාවේ පවතින ව්‍යවස්ථාව අනුවද කිසිවකුට හැකියාවක් නැත. එහෙත් ලංකාවේ නිර්මාණකරුවන්ට හිරිහැර සිදුවන්නේ ව්‍යවස්ථාව හෝ සාධාරණ යුක්තිය අනුවවත් නොවන බව දිගුකාලයක අත්දැකීම් අපට පෙන්වා දෙයි.
ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙසත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය භාවිත කර ඔහුට එල්ල කළ අසාධාරණ චෝදනා වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.
Comments
Post a Comment