කැරපොත්තන් බවට පත්වූ මිනිසුන්ගේ 'ස්වරූප'
ධර්මසේන පතිරාජගේ නවතම සිනමා කෘතිය සහ ඇතැම් විට ඔහුගේ මෑත කාලීන හොඳම චිත‍්‍රපටය විය හැකි ‘ස්වරූප‘ ලංකාවේ සිනමාහල්වල ප‍්‍රදර්ශනය වී, ගැලවී ගොස් අවසන්ය. චිත‍්‍රපටයේ මංගල දර්ශනය සහ එය සිනමාහල් වලින් ගැලවීම අතර මතක හැටියටනම් තිබුනේ සති දෙකකටත් අඩු කාලයකි. ලංකාවේ කලාව පිළිබඳ සංවාදයේ ඉතිහාසයකට හිමිකම් කියන හොරණ සහ මාතර නගරවල සිනමාහල්වලින් ස්වරූප ඉවත්වී තිබුනේ එකම දර්ශනයක් පවා ප‍්‍රදර්ශනය නොකර බව කොහේ හෝ කියවූවා මතකය. එය ප‍්‍රදර්ශනය කරන ලද සිනමාහල් පවා ස්වරූප සඳහා වෙන් කර තිබුනේ කිසිවෙකු නොදන්නා, සාමාන්‍යයෙන් පේ‍්‍රක්ෂකයන් නොඑන අමුතුම දර්ශන කාලයන්ය. එබැවින් ධර්මසේන පතිරාජ ස්වරූප නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළ බවත්, එය ලංකාවේ ප‍්‍රදර්ශනය වූ බවත් බොහෝ දෙනෙකු දන්නේ නැත. පුවත්පත් වල සිනමා අතිරේක සහ නිල විචාරකයන්ද ස්වරූප ගැන නිහඬය. අපි රළ අතිරේකයේ මේ කුඩා ඉඩ ස්වරූප වෙනුවෙන් වෙන් කරන්නේ එලෙස මග හැරුණු සම්පූර්ණ වපසරිය ආවරණය කිරීමේ අභිප‍්‍රායෙන් නොව රළ පාඨක ඔබ කිසියම් හෝ ආකාරයකින් අනාගතයේ දිනෙක ස්වරූප වෙත ප‍්‍රවේශ වීම උත්තේජනය කිරීම උදෙසාය.
ස්වරූප චිත‍්‍රපටය ගැන කෙටියෙන් කියන්නේනම් එහි අන්තර්ගත වන්නේ නුතන ධනේශ්වර සමාජ ක‍්‍රමය තුළ ශ‍්‍රමික පන්තිය අත්විඳින පරත්වාරෝපණයයි. ඊට අමතරව එය වත්මන් පවුලේ ගරා වැටීමද, සෞඛ්‍ය සේවය වෙළඳ භාණ්ඩයක් වීමට අදාළ ආචාරධාර්මික ගැටලූද ඇතුළු තවත් මාන ගණනාවක් වෙත ආලෝකයක් විහිදුවයි. පතිරාජ ස්වරූප සඳහා පාදක කරගෙන ඇත්තේ ෆ්රාන්ස් කෆ්කා (1883 -1924)නම් ජර්මානු භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදුනු යුදෙව් ජාතික සාහිත්‍යකරුවාගේ ප‍්‍රකට සහ විශිෂ්ට කෙටි කතාවක් වන ඔයැ ඵැඒපදරචයදිසි (1915) නම් කෙටි කතාවයි. රූපාන්තරණය යන අරුත දෙන නමක් සහිත එම කෙටි කතාව කලකට ඉහත කේ.ජී. කරුණාතිලක විසින් ‘රූප විපර්යාසය‘ නමින් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබිණි. 1975දී න්‍්බ භěපැජ නම් චෙක් ජාතික සිනමාකරුවා මුලින්ම කෆ්කාගේ මෙම කෘතිය සිනමාවට නැගූ අතර පතිරාජට පෙර 2013දී එය ජර්මානු කෙටි චිත‍්‍රපටයකටද විෂය විය. පොදුවේ කෆ්කාගේ කෙටි කතාව ඇසුරින් චිත‍්‍රපට 8ක් පමණ නිර්මාණය වී තිබේ.
කෆ්කාගේ කෙටි කතාව සිනමාවට නැගීම අපහසු කාර්යයක් වන්නේ එය ග්‍රෙගරි සැම්සා නම් විකෘතියට ලක්වූ තරුණයාගේ ආත්මකථනයක් ලෙස ඉදිරිපත් වීම නිසාය. සාහිත්‍ය කෘතියේ වැඩි වශයෙන් ඇත්තේ ග්‍රෙගරිගේ සිතිවිලි සහ ඔහු මුහුණපාන සිදුවීම්ය. මෙම කතාව ඇසුරින් නිර්මාණය වූ අනෙකුත් චිත‍්‍රපට අප නරඹා නැත. ඒවා මෙම කතා තේමාව සිනමා රූපයට හසු කර ගත්තේ කෙසේදැයි අප දන්නේද නැත. අවශ්‍යනම් මිනිසෙකු යෝධ කැරපොත්තෙකු බවට පත්වීම ග‍්‍රැෆික් තාක්ෂණය හරහා සිනමාවට ගෙන ආ හැකිව තිබිණි. එවිට ග්‍රෙගරිගේ ආත්ම කථනය ඉදිරිපත් කළ හැක්කේ පසුබිම් කථනයක් ලෙසය. එහෙත් ධර්මසේන පතිරාජ ඉතා නිර්මාණාත්මක ලෙස සාහිත්‍ය කෘතියේ කතා සාරය සිනමාවට සහ එහි අන්තර්ගත දේශපාලනයට උචිත දෘෂ්ටිකෝණයකට නගා තිබේ. සාහිත්‍ය කෘතියේ තිබෙන්නේ ග්‍රෙගරි සැම්සාගේ ආත්මකථනයනම්, සිනමා කෘතියේ ඇත්තේ ඔහු යෝධ කෘමියෙකු බවට පත්වූ පසු පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් අය ඊට ප‍්‍රතිචාර දක්වන අන්දමය. ඒ හරහා පතිරාජ සමකාලීන පවුලේ යථාර්ථය වෙත අපේ අවධානය යොමු කරයි.
කෘතිය පදනම් වී ඇත්තේ ඖෂධ අලෙවිසැල් වලට ඖෂධ නිෂ්පාදන බෙදා හරින සංචාරක වෙළඳ නියෝජිතයෙකු වන ග්‍රෙගරි සැම්සාගේ ජීවිතය වටාය. ඉතාම කාර්යබහුල සහ ඒකාකාරී ජීවිතයක් ගෙවන, ජීවත්වීම උදෙසා මුළු දවසම ශ‍්‍රමය වැගිරීමට සිදුව තිබෙන ග්‍රෙගරි එක්තරා දවසක උදේ අවදිවී බලන විට තමාගේ මනුෂ්‍යභාවය අහිමිවී, තමා කෘමියෙකු, කැරපොත්තෙකු වී සිටින බව ඒත්තු ගනී. ධනේශ්වර ක‍්‍රමය තුළ ශ‍්‍රමිකයා, කම්කරුවා සිය ශ‍්‍රමයේ ස්වේච්ඡුා නිර්මාණාත්මකභාවයද, ශ‍්‍රම ක‍්‍රියාවලියේ තීරණ- තීන්දු ගැනීමේ අයිතියද, ශ‍්‍රමයේ ඵලයටද අහිමිව අවසානයේදී තම සිරුර සහ අධ්‍යාත්මය පිළිබඳ අයිතියද අහිමි කර ගනී. තමාට තමා අහිමිව පරත්වාරෝපණය වේ. ස්වරූප චිත‍්‍රපටයේ සිටින ග්‍රෙගරි නීරස සහ අවිවේකී රැුකියාව නිසා සමාජයෙන්ද, පවුලෙන්ද, පේ‍්‍රමය ඇතුළු සිය ආත්මීය ලක්ෂණ වලින්ද පරත්වාරෝපනය වී මනුෂ්‍යභාවය අහිමි වී සතෙකු බවට පත්වෙයි. මෙය අභූතරූපී ආකාරයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද සමකාලීන යථාර්ථයමය. දැවැන්ත ඖෂධ සමාගමක වෙළඳ නියෝජිතයා වන ග්‍රෙගරි සිය වෘත්තියේ ඇති සමාජ විරෝධී සහ සදාචාරවත් නොවන ස්වභාවය සහ හෘද සාක්ෂිය අතර ගැටුමකට මැදිවී එයින්ද පීඩනයට පත්වීද යන්න කෘතිය තුළ එතරම් පැහැදිලි නැතත් එය පවා අනුමාන කළ හැක. මේ සියලූ පීඩනයන්ගේ අවසන් ප‍්‍රතිඵලය ශ‍්‍රමිකයා සිය මනුෂ්‍යත්වය අහිමිව හුදු උපකරණයක්, හුවමාරු භාණ්ඩයක්, යන්ත‍්‍රයක් බවට, නැතිනම් අමනුෂ්‍ය ප‍්‍රතිරූපයක් බවට පත් වීමයි. ග්‍රෙගරි ගොදුරු වන්නේ එම ඛේදවාචකයටයි.
ග්‍රෙගරිගේ පවුලද මෙම ඛේදවාචකයේම තවත් පැත්තක් නිරූපණය කරයි. පවුලේ සාමාජිකයන් වන්නේ පීතෘ මූලික ලක්ෂණ ප‍්‍රකටව දරන,පමණට වඩා වැඩි ආත්ම ගර්වයක් සහිත, නිරන්තරව සිය ප‍්‍රභූත්වය ගැන පුරසාරම් කියන පියා- හර්මන් සැම්සන්, ග්‍රෙගරි ගැන සානුකම්පිත හැඟීම් ඇතිමුත් ඔහුට පිහිට විය නොහැකි, අසරණ සහ පියාගේ ආධිපත්‍යයට යටවූ මව- මාර්තා සහ සිය සොහොයුරාගේ ආධාරයෙන් ජීවිතයේ විවිධ පියවර නගන්නට අපේක්ෂාවෙන් සිටින නැගණිය- ගේ‍්‍රටාය. පියාගේ චරිතය ඩබ්ලිව් ජයසිරි විසින්ද, මවගේ චරිතය නීටා ද සිල්වා විසින්ද, නැගණියගේ චරිතය නවක නිළියක වන රීනි ද සිල්වා විසින්ද රඟපාන අතර ග්‍රෙගරි සැම්සාගේ චරිතයට තුසිත ලක්නාත් විසින්ද පණ පොවයි. ග්‍රෙගරිගේ පවුල මැද පාන්තික පසුබිමක් සහිත, එනමුත් එවැනි ජීවන තත්වයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආදායම නොමැති පවුලකි. ග්‍රෙගරිගේ පියා ඔවුන්ගේ මාසික ආදායමට නොගැලපෙන තරමේ විශාල කුලියකට මහේශාක්‍ය නිවසක් කුලියට ගෙන සිටින අතර ඒ සඳහා ග්‍රෙගරි තමා රැුකියාව කරන ආයතනයෙන් ණය මුදලක්ද ගෙන ඇත. මේ නාස්තිකාර වියදම් සෙවීම වෙනුවෙන් ග්‍රෙගරි සිය සමස්ත ජීවිතයම කැප කර තිබේ. මේ අතර ගේ‍්‍රගරිට සිය නැගණියගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන්ද අමතර මුදලක් සෙවීමට සිදුව තිබේ. ගේ‍්‍රටා සිය අයියාගේ සහයෙන් සංගීත අධ්‍යාපනයේ ඉහළටම ගොස් කොළඹ සංධ්වනි වාදක මණ්ඩලයට එකතු වීමේ සිහිනයක සිටී. මේ අතර පවුලේ සාමාජිකයන් අතර සාකච්ඡුා වලදී ගේ‍්‍රටා ඇයගේ නැන්දා මෙන් කොළඹ ඉහළ පෙලේ කාන්තා විදුහලක සංගීත ගුරුවරිය වීමේ අභිප‍්‍රායක්ද සාකච්ඡුාවට බඳුන් වෙයි. පවුලේ ඉලක්කය සිය මධ්‍යම පාන්තික අභිමානය සහ ජීවන රටාව පවත්වාගෙන යාමට ග්‍රෙගරි උපයෝගී කර ගන්නා අතරම ගේ‍්‍රටා හරහා වඩාත් ඉහළ සමාජ තලයකට පැන ගැනීමයි. පවුලේ සාමාජිකයන් අතර මානව සම්බන්ධතා මේ ව්‍යාපෘතිය සඳහා එකිනෙකා පාවිච්චි කිරීමට සීමා වී තිබේ.
ග්‍රෙගරි මිනිස් බව අහිමි කරගෙන කෘමියෙකු වීම පිළිබඳව පවුලේ සාමාජිකයන් ත‍්‍රස්ත වන්නේ ග්‍රෙගරි පිළිබඳ බැඳීමට වඩා ග්‍රෙගරි විසින් උපයා දුන් ආදායම නොමැතිව සිය සුපුරුදු ජීවන රටාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ අවදානම විසිනි. පවුලේ අය මුලින් වික්ෂිප්ත වෙයි. අනතුරුව තවදුරටත් ග්‍රෙගරි නොමැති බවත්, ඇත්තේ කෘමියෙකු පමණක් බවත් යථාර්ථය ලෙස පිළිගනී. අම්මා කම්පා වන්නේ ‘අනේ අපිව බලාගත්තු අහිංසක දරුවා‘ කියමිනි. ඔවුන්ට ග්‍රෙගරිගේ ඇති වැදගත්කම ඔහු ඔවුන් නඩත්තු කිරීමේ උපයෝගීතාවය පමණක්ද? රූප විපර්යාසය ඉදිරියේ ග්‍රෙගරි වෙනුවෙන් පවුලේ සාමුහික මැදිහත්වීමක් නැත. පියා කියන්නේ ‘එයාට එයාගේ ප‍්‍රශ්නය විසඳාගන්න ඉඩ දෙන්න කියාය.ගේ‍්‍රටා සහ මව මාර්තා ග්‍රෙගරි ගැන දුක්වෙයි. එහෙත් අනතුරුව සියල්ල සාමාන්‍යකරණය වෙයි. ග්‍රෙගරි පිළිබඳව උපයෝගිතා අර්ථයකින් තොරව කම්පා වන්නේ ‘මයෙ පුතේ‘ කියමින් කැරපොත්තෙකු බවට පත්ව සිටින ග්‍රෙගරිට සලකන නිවසේ මෙහෙකාරිය වන මේරි පමණක් බව පේ‍්‍රක්ෂකයාට වැටහේ. කෙසේ වෙතත් මේරිටද නිවසින් යාමට සිදු වන්නේ සිය සොහොයුරාට සැලකීම තමා අතින් නොව මෙහෙකාරියක වීම විසින් නොසන්සුන් වන ගේ‍්‍රටාගේ වරදකාරී හෘද සාක්ෂිය හේතුවෙනි. එලෙස අවම ලෙස හෝ සංවේදී වන ග්‍රෙගරිගේ නැගණිය පවා අවසානයේ කියන්නේ ‘එයා මමීගෙ පුතා වුනාට දැන් එයා සතෙක් මමී‘ කියාය. ගේ‍්‍රටාගේ සංගීත සන්ධ්‍යාව තුළට ග්‍රෙගරි කඩා වැදීමත්, එහිදී බෝඩිංකරුවන් කලබල වීමත් නිසා සියල්ල වෙනස් වෙයි. ඉන් අනතුරුව ග්‍රෙගරි, දැන් ඒ කැරපොත්තා පවුලට හිරිහැරයකි. ඔවුන් ග්‍රෙගරිගෙන් තොර ජීවිතයක් ප‍්‍රාර්ථනා කරයි. අවසානයේදී ග්‍රෙගරි මියයන අතර ඔහු මුලින් නිවසේ කුණු බාල්දියටත්, අනතුරුව නගර සභාවේ කුණු ලොරියටත් වැටී අවසානයේ මහා කුණු කන්දක් තුළ අවසන් ගමන් යයි. ග්‍රෙගරි වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් නැති නමුදු ග්‍රෙගරි වෙනුවෙන් කඳුකරයේ සොහොන් බිමක සොහොන් කොතක් ඉදිවී ඇත්තේ සුළු ධනේශ්වර පවුල් සංස්කෘතියේ ව්‍යාජත්වය සහ විපරීත බව ප‍්‍රදර්ශනය කරමිනි. ඒ ග්‍රෙගරිගේ පවුලයි. ඒ කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ කියන පරිදි අවරසිකවාදී අනුරක්තතාවය පිළිබඳ ස්වර්ගමය ආනන්දයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වන ලද සමකාලීන පවුලයි. පවුල සමාජයේ මූලික තැනුම් ඒකක ලෙස බව කියන නිසා සමකාලීන පවුල විසින් පරාවර්තනය කරන්නේ වත්මන් ධනේශ්වර සමාජයේ පිළිබිඹුවමය. පතිරාජ ස්වරූප මගින් පවුල හරහා සමස්ත සමාජය වෙත ආලෝකය විහිදුවයි.
චිත‍්‍රපටයේදී පතිරාජ තවත් බොහෝ රස කාරක එයට එකතු කර ඇත. සම්භාව්‍ය සංගීතය රස විඳින බව පෙන්වන, කිසිදු ළතෙත් බවක් හෝ මනුස්සකමක් නැති බෝඩිංකාරයන් තිදෙනා විකාරරූපී ආකාරයෙන් වත්මන් සමාජ අර්බුදයේ ගැඹුර අපට පෙන්වයි. විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන් සහ ඞී. බී. ගංගොඩතැන්න නේවාසික මහළු මහත්වරුන්ගේ භූමිකාවලට පණ පොවයි. ස්වරූප කෘතියේ එක් තැනක ග්‍රෙගරි කැඩපතේ සිට ඉවත් වෙද්දීත් කැඩපත් පිළිබිඹුව එලෙසම පැවතීම ලකාන් මනෝ විශ්ලේෂණයට දායාද කළ කැඩපත් ප‍්‍රතිරූපය පිළිබඳ සංකල්පයට සම්බන්ධ විය හැක. සැබෑ ග්‍රෙගරි කනස්සල්ලෙන් සිටින අතර ග්‍රෙගරිගේ කැඩපත් පිළිබිඹුව මද සිනා නගයි. ග්‍රෙගරි තමා ලෙස වටහාගෙන සිටින්නේ සැබෑ ග්‍රෙගරිද, නැතිනම් කැඩපතේ සිටින ග්‍රෙගරිද? ඒ පැනය ග්‍රෙගරි නොව අප හමුවේද ඉතිරිව තිබේ. චිත‍්‍රපටය තුළට කැඳවා ඇති කෆ්කාගේ කෘතියේ නැති වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයා හරහා පතිරාජ 1915දී කෆ්කා මෙම කෘතිය සම්පාදනය කරන අවස්ථාවේදී එතරම් වර්ධනය වී නොතිබුණු, නමුත් එය සිනමාපටයක් බවට පත්වන 2017දී දැවෙන ප‍්‍රශ්නයක්ව පවතින සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙළඳ භාණ්ඩයක් වීමේ ප‍්‍රශ්නය අවධානයට ලක් කරයි. මිනිස් ශරීර දුප්පත් ශරීර සහ පොහොසත් ශරීර ලෙස වර්ග දෙකකට බෙදුවේ වෛද්‍ය විද්‍යාව විසින් යැයි එම වෛද්‍යවරයා පවසයි. සිය ශරීර සඳහා රෝගවලට ප‍්‍රතිකාර ලැබෙන ශරීර සහ ප‍්‍රතිකාර නොලැබෙන ශරීර ලෙස ශරීර වර්ග දෙකක් බිහි කරනු ලැබුවේ සෞඛ්‍ය සේවය වෙළඳ භාණ්ඩයක් බවට පිරිහෙලනු ලැබූ ධනවාදයයි. මිනිසුන් කැරපොත්තන් බවට පත් කිරීමත්, ඔවුන් කුණු ගොඩවල් තුළ අවසන් ගමන් යාමත් එහි ප‍්‍රතිඵල වේ. දැන් පන්ති අරගලය මිනිස් ශරීරය තුලද පවතින බව චිත‍්‍රපටයේ එක තැනක මහාචාර්යවරයා පවසයි. බහු ජාතික ඖෂධ සමාගම් සහ සිය සෞඛ්‍ය සේවා අයිතීන් වෙනුවෙන් සටන් වදින ජනයා අතර අරගලය (පසුගිය කාලයේ මුදලාලිකරණ ප‍්‍රතිපත්තියේ සිටි ධන කුවේරයන් සහ සයිටම් විරෝධීන් කළ අරගලයද ඇතුළුව) එම පන්ති අරගලය සංයුක්ත තලයේ ක‍්‍රියාත්මක වන ආකාරයයි. ස්වරූප ඒ සියලූ විෂයයන්හිදී අපව බුද්ධි කලම්බනයට ලක් කරයි.
ස්වරූප ගැන කතා කළ යුතු බොහෝ දේ තිබේ. සමස්ත සිනමා කෘතියම විශිෂ්ට චිත‍්‍ර රැුසකින් සමන්විත කලාගාරයක් බඳුය. චිත‍්‍රපටයේ දුම්රිය මීදුම අතරින් ඇදී එන දර්ශනය, මලානික ආලෝකය සහිත වීදි වල දර්ශන, රතු ලියුම් කණුවක් අසල විරූපී මිනිසෙකු මවුත් ඕර්ගන් වාදනය කරන දර්ශනය ආදී දර්ශන පිළිබඳ වෙනත් අවස්ථාවක හෝ සාකච්ඡුා කළ යුතුය. ස්වරූප විසින් සංවාදයට බඳුන් කරන සමකාලීන මිනිස් ජීවිතයේ යථාර්ථය පිළිිබඳ සංවාදය සඳහා වැඩි ප‍්‍රමුඛත්වයක් දීමට අප ගත් තීරණය නිසා කෘතියේ කලාත්මක පාර්ශවය කිසිසේත් අවතක්සේරුවට ලක් නොවේ. නමුත් ස්වරූප හරහා අනාවරණය කරන අපේ ස්වරූපය සහ එතුළ අප නොදුටු ස්වරූපය පිළිිබඳ රළ පාඨකයන්ගේ අවධානය යොමු කරමු.
Comments
Post a Comment