‘මහජාතියේ යුතෝපියාව’ ජාතික රාජ්‍ය කරාමද?
තම ඊනියා ස්වයංපරිපූර්ණත්වයට සැමවිටම බාධා පමුණුවන ‘අනෙකකු’ පිළිබඳ අදහස් අධිපති ජාතීන්ගේ මනස් තුළ සැමවිට රජයයි. අමෙරිකානුවාට මුසල්මානුවා මෙන් ලංකාව නම් ජාතික රාජ්‍ය තුළ සිංහල ජනයා විසින් දෙමළ ජනයාවද දෙමළ ජනයා විසින් මුස්ලිම් ජනයාවද මෙසේ වටහා ගනු ලබයි. එබැවින් මෙහි ජනකණ්ඩායම් දේශපාලනය තීරණය කිරීමේදී මෙසේ විනාශ කළ යුතු අනෙකා පිළිබඳ අදහස සෑහෙන කාර්යයක් ඉටුකරනු ලබයි. සිංහල ජනයා දෙමළ ජනයාවද දෙමළ ජනයා මුස්ලිම් ජනයාවද ස්වයංපරිපූර්ණත්වයට ඇති බාධාව ලෙස මෙසේ නාමකරණය කළද ඇත්තෙන්ම එම එක් එක් ජාතීන් තම අභ්‍යන්තරික පාන්තික ප‍්‍රතිවිරෝධතා සමහන් කරගනු ලබන්නේද මෙසේ බාහිර ප‍්‍රතිවිරෝධතා දෘෂ්ටිවාදාත්මකව ස්ථාපනය කිරීමෙන්මය. නමුත් දෘෂ්ටිවාදයට පිටස්තරව සැබෑ ප‍්‍රතිවිරෝධතාවන් ස්ථාපිතව ඇත්තේ මෙහි නාමකරණය කරන ප‍්‍රතිවිරෝධයන්ට වෙනස්ව පමණක් නොව, හරියටම ඊට විරුද්ධ ආකාරයෙන්මය. මේ සාකච්ඡුාව මෙවර රළ කලාපයන් සාකච්ඡුා කිරීමට අප පොළඹවන ලද්දේ නිශ්ශංක විජේමාන්නගේ ‘හඳපළුව හා තනිතරුව’ කෘතිය විසිනි.
නිශ්ශංක විජේමාන්න වූකලී මෑතකාලීන සිංහල භාෂීය ප‍්‍රබන්ධ සාහිත්‍ය තුළ නවලිබරල් වෙළෙඳපොළ, පශ්චාත් නූතන සමාජ අවකාශය, අධිපති ජාතිකවාදය පිළිබඳ ගැඹුරු අදහසකින් යාවත්කාලීනව නිර්මානකරණයේ යෙදෙන ඇතැම්විට, අපේ කාලයේ නිර්මාණශීලීම ප‍්‍රබන්ධකරුවාය. ඔහුගේ ‘මුවා මැරූ සාලමන්’, ‘දළ රෙදි හා කසී සළු’ කෙටිකතා සංග‍්‍රහ මෙන්ම ‘තාරා මගේ දෙව්දුව’ නවකතාව හරහාද ඔහු මේ බව යළි යළිත් සනාථ කර ඇත.
හඳ පළුව හා තනිතරුව ඔහුගේ නවතම ප‍්‍රබන්ධ කතාවයි. උතුරේ ජනතාවගේ දේශපාලන අරගලය (ඒ කෙරෙහි අපගේ ප‍්‍රවේශය, ඒ පිළිබඳ අපගේ හඳුනාගැනීම කොයි හැටි වුවද) ලෙයින් සහ යකඩින් මර්දනය කළ පසු ස්වකීය අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධය (පාන්තික ප‍්‍රතිවිරෝධය) සමනය කරගනු වස් අවැසි බාහිර ප‍්‍රතිවිරෝධය රාජ්‍ය සැකැස්ම විසින් සොයාගනු ලැබුවේ මුස්ලිම් ජනයා තුළිනි.
”සාදුලා උපවාස කරන්න පටන් ගත්තා පොලිසියට විරුද්ධව. මොකද පොලිසිය අත්අඩංගුවට ගත්තා සිංහල අයත්. පොලිසිය පක්ෂග‍්‍රාහීය කියලා ඒ අය පාර අහුරලා උපවාස කරන්න පටන් ගත්තා.
ඉතා අවාසානාවන්ත ලෙස අලූත්ගම දර්ගා නගරයේදී ජීවිත බිලිගනිමින් දේපළ විනාශ කරමින් ප‍්‍රකාශයට පත් වූ මෙම පරාජය කළ යුතු අනෙකකු ගොඩ නැගීමේ දේශපාලන ස්වරය කෘතියට ප‍්‍රස්තුත කරගන්නා නිශ්ශංක විජේමාන්න, ස්වකීය නවකතාව තුළදී මෙම අනෙකා ගොඩනැගීමේ දේශපාලනයට එරෙහිව, වෛෂයික, සමාජ විද්‍යාත්මක, ජනප‍්‍රවාදාත්මක කෘති රැුසක් තම කෘතියට පාදක කර ගනී.
එදා මෙම මුස්ලිම් ජන සංහාරයට එරෙහිව නැගී සිටින අනිල් නම් තරුණ ගුරුවරයා අන්තවාදින්ගේ ප‍්‍රහාරයකට ලක්ව රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ සිටින අතර ප‍්‍රත්‍යාවර්ජනයක් ලෙසින් ප‍්‍රබන්ධය ඉදිරියට ගලා යයි.
අනිල් සිය ගුරුවරයා වූ විල්ලාරගේ විපුලානන්ද සහ ඔහුගේ පාසල් පෙම්වතිය සිය බාලකාලයේ උගත් පාසලට ගුරුපත්වීමක් ලබා යන්නේ එක්තරා ආකාරයකට අතීතකාමී සිතිවිල්ලකටය. එම පාසලේදී අනිල්ට හමුවන කටකාර කෙල්ල අයේෂා අනිල්ගේ ගුරුවරයා වූ විපුලානන්දගේ පැරණි පෙම්වතිය වූ ශරීරාගේ දියණියයි.
මෙම ආකෘතික ගොඩනැගීම තුළ නවකතාකරු ලංකාවේ දමිල, මුස්ලිම්, සිංහල ජනතාවන්ගේ ජනප‍්‍රවාදාත්මක ඉතිහාස කතා, වංශ කතා ඛණ්ඩනය කරමින් විසංයෝජනය කරමින් සංයෝජනය කරමින් පෙන්වා දෙන්නේ අද අප ‘අපගේ ඉරණම‘ ලෙස බරපතල ලෙස බාරගෙන ඇති දේවල් සත්‍ය ඉතිහාසයම නොව, දෘෂ්ටිවාදාත්මක හා පාන්තික කථන මගින් ගොඩනැංවූ දේවල් බවය.
”සර් දන්නවනේ මං උගන්වන්නේ ඉතිහාසය. ලංකාවෙ ඉතිහාසය. හිතන්න...ඒකෙ එකම තැනකවත් අපේ මුස්ලිම් ළමයින්ට ඒ අයගේ දෙයක් කියවන්න නෑ. සිංහල ඉතිහාසයක්නෙ අපි මේ කියවන්නෙ”
43 පිටුව
”ඔව්” ඉතිහාස ගුරුවරයා ... විජය රජ්ජුරුවො, කලිඟු පස්සෙ සිංහල, මිහිඳු හාමුදුරුවො දෙමළ, පස්සෙ සිංහල, සුභ දෙමළ පරාක‍්‍රමබාහු දෙමළ හා සිංහල, කීර්ති ශ‍්‍රී රාජසිංහ දෙමළ ඒත් එයාල ලාංකික වෙනුවට පෙනී හිටියෙ සිංහල වශයෙන්,
නවකතාකරු මෙසේ ජාතික ගොඩනැංවීම තුළ සාකච්ඡුාවට ලක් කරයි.
අවසානයේ අනිල් අවබෝධ කරගනුයේ සිය ගුරුවරයා වූ විල්ලාරගේ විපුලානන්ද තම ගුරුවරයා පමණක් නොව කමාගේ පියා බවත්, ෂාරියා තම බව බවත්, අයේෂා තම මවගේ පසුකාලීන සැමියා වූ අබ්දුල්ලාට දාවල් දියණිය බවත්ය. මේ අනුව මේ දනවත් චරිතයෙහි ජාතික අනන්‍යතා නිර්ණය වී ඇත්තේ සහජයෙන් නොව, සමාජයීය හැගවුම්කරණයක් මතින් බවත්ය.
මේ ඊනියා අනන්‍යතා බොඳ කිරීම හරහා සකලවිධ ජාතිකවාදයන් බරපතළ ලෙස උභතෝකෝටිකයකට ඇද දමා කතුවරයා, සමාජයේ සංකේතීය පිල් වෙත ඇද වැටුණු මේ පශ්චාත් නූතන මොහොත පිළිබඳ අධ්‍යයනය සම්පූර්ණ කිරීමට උත්සාහ දරා ඇති බවක් ඇඟවෙනුයේ කතාවේ අවසනදී අනිල් පවසන මේ සංවාදයෙනි.
”බයිසිකලයෙන් බසින ඔහුගේ ලේ ගලන මුහුණ දුටු ගැහැණු දෙදෙනා කෑ ගසමින් ගෙපඩිය බැස දිව ආවෝය.
”ගුරුතුමා” අනිල් බයිසිකල්කරුට සිංහලෙන් ඇමතූ අතර කමන් නොවැටෙනු පිණිස ඔහුව බදා ගත්තේය. අනතුරුව සාක්කුවේ වූ පංචායුධය ගෙන ශරීරා අතේ තැබුවේය.
”අම්මා මම ගගේ ගහගෙන ගියේ නෑ” ඔහු ශරීරාට දෙමළෙන් කීවේය.
”තාත්තයි මමයි ආවා. මේ තමයි මගේ තාත්තා”
ශරීරා දරුවා වත්තන් කරගන්නට හැදුවේ විලාප දෙමින්ය.
”දෙයියෝ ඔය විදියට ඔයාලව එව්වෙ ඇයි?” ඇය නගර මුවවිටේ මිනිසුන්ට කෑ ගැසුවාය. ”මගේ දරුවට තුවාලයි. හාමුදුරුවනේ අනේ වඩින්ඩෝ”
සිය අපේක්ෂාවේ අවසාන බිඳුවද හළ යුවතිය අයේෂාගේ විලාපය අතරේ නැගෙනහිර වෙරළේ ඇවැස්ස නෑයන් අතරේ ව්‍යභචාර විවාහයන් පිළිබඳ ඈ ඔහුගෙන් කළ විමසුමේ බර හඳුනාගත්තේය.
”එතකොට ඔයා හොයන මස්සිනා මේ ලේනාද?”
ඔහු විමතිය මුසු මන්දසිමිතයකින් යුතුව අවසන් වැකියද පවසා ඇදගෙන වැටුණේය.
”අයේෂා ... නංගි ඔයා මගේ නොනැසෙන රැජිණ”
183 පිටුව
(දෙමළ බසින් අනිල්‘යනු ලේනා යන්නය)
එක් අතකින් සමාජය අන්ත ජාතිවාදය දෙසට ගමන් කරමින් සිටින අතර අනෙක් අතින් විනෝද සමාජයක හිරිවැටෙමින් පවතින බවට ඉඟියක්ද මේ.
නොඑසේ නම් අනෙක් අතට නිශ්ශංක ‘තාරා මගේ දෙව්දුව නවකතාවේදී කරන්නා සේම ජාතිකත්වය, පන්තිය වැනි සාධකවලට ඉහළින් සිටින මාතෘ දෙවගන වැනි ස්ත‍්‍රීත්වයක් පරිකල්පනය කිරීමක්ද මේ. කෙසේවුවද, නවකතාකරුවා ගොස් ඇති උපරිම දුර ජාතික අසමානතා රහිත අතීතකාමී යුතෝපියාවක් දක්වා පමණද? එසේ නම් එම යුතෝපියාව, සිංහල මහජාතියේ යුතෝපියාව වූ ඒකීය ජාතික රාජ්‍යයකින් තීරණාත්මක ලෙස වෙනස් වන්නේ කෙසේද? මේ සියල්ල නවකථාකරුවා පිළිතුරු දියයුතු ප‍්‍රශ්න හැටියට නොව අනාගත සමාජ ව්‍යාපාර විසින් පිළිතුරු දියයුතු ප‍්‍රශ්න ලෙස ඉතිරි වේ.
කෙසේවුවද අපගේ මෙම විචාරයට පාදක කරගත්තේ නවකථාව පිළිබඳ කතිකාවට ගතයුතු අත්‍යවශ්‍ය හා හදිසි කලාප කිහිපයක් පමණි. කෙසේ වුවද, ජාතික පීඩනය, පීඩිත ජාතීන්ගේ දේශපාලන අයිතිය, ලංකාවේ ජාතික රාජ්‍ය තුළ ජාතින්ගේ නුරුස්නාවන් හා එකට පැවැත්ම පිළිබඳ නව කතිකාවකට අත්‍යවශ්‍ය කාරනා ප‍්‍රමාණයක් සිය කෘතිය තුළ ස්පර්ශ කිරීමට කතුවරයා සමත්ව ඇත.
Comments
Post a Comment