සඳගිර පාමුල සිට දයලෙක්තිකය දෙස බැලීම
මේ දිනවල අප පක්ෂය තුළ දාර්ශනික ප‍්‍රශ්න වලට අදාළ දේවල් පිලිබඳ සංවාදයක සහ අධ්‍යනයක නිරතව සිටිනවා. ඒ අතර සිංහල භාෂාවෙන් නිර්මිත කවිය තුළ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ රත්නශ‍්‍රී විජේසිංහ ‘ සඳගිර පාමුල‘ නමින් කවි පොතක් එලි දක්වා තිබෙනවා. මේ කවි පොත මුල සිට අගටම එකම කවියක් අඩංගු කර ගන්නා ආඛ්‍යාන කාව්‍යයක් හෙවත් කාව්‍යමය ආඛ්‍යානයක්. සාමාන්‍යයෙන් කාව්‍යමය ආඛ්‍යානයක් අන්තර්ගත කර ගන්නේ තනි කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීම් හෝ එසේත් නැතිනම් යම් කෙනෙකුගේ වීර චාරිකාවක්. සඳගිර පාමුල කෘතිය අන්තර්ගත කරගන්නේ ‘කිඳුරී‘ ලෙස හඳුන්වන ස්ත‍්‍රියකගේ ජීවන අන්දරය. කෙසේ වෙතත් අප මේ උත්සාහ කරන්නේ මේ ආඛ්‍යාන කාව්‍යය හරහා දයලෙක්තිකය පිලිබඳ අධ්‍යනයකට පිවිසෙන්න. ඒ කියන්නේ මේ කාව්‍ය විචාරයක්ම නෙවෙයි, ඒ වගේම නෙවෙයිත් නෙවෙයි. තවත් අරමුණ ගැන පිටුවේ ඉඩ නාස්ති නොකර අපි ප‍්‍රස්තුත මාතෘකාවට එළඹෙමු.
දයලෙක්තිකය
දයලෙක්තිකය සම්බන්ධ දාර්ශනික ඉදිරිපත් කිරීමේ සාකච්ඡුා කළ යුතු සංකීර්ණ පති කිහිපයක් තිබෙනවා. නමුත් දයලෙක්තිකය පිලිබඳ සංකල්පයේ ප‍්‍රධානතම පදනම වන්නේ එය යම් දෙයක පරස්පරතා එය තුළ එකට පවතිමින් කරන අරගලය එහි චලිතයට හේතු වන ආකාරය පිළිබඳව කළ ඉදිරිපත් කිරීම. බැලූ? බැල්මටම එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර ලෙස පෙනෙන දේ එකිනෙක සමග අරගල කරමින් වුවත් එකට පැවතීම මෙමගින් පිලිගන්නවා. මේ දයලෙක්තික සම්බන්ධයේ එක කොටසක් පමණක් වෙනම වෙන් කර ගැනීමෙන් අපට අධ්‍යනයට සාධාරණයක් ඉටු කරන්න බෑ. අපි සඳගිර පාමුල කෘතිය ඇසුරින් කාව්‍ය අන්තර්ගතය සහ කාව්‍ය ආකෘතිය තුළ ලෙස කවිය තුළත්, ජීවිතය තුළත්, දේශපාලනය තුළත් ඇති පරස්පරතා සහ එහි ඇති දයලෙක්තික සම්බන්ධයත් පිලිබඳ කතාව ආරම්භ කරමු.
ජීවිතය
සඳගිර පාමුල කෘතියේ කිඳුරියගේ පුද්ගලික ජීවිතය මෙන්ම ඇය ජීවත්වූ වකවානුවේ සමාජ ජීවිතයත් තල දෙකක් ලෙස නිරූපණය වෙනවා. එක පැත්තකින් කිඳුරියගේ පාසල් විය, පේ‍්‍රමය, විවාහය, දරුවන් ලැබීම, මහලූ?වීම, රෝගීවීම, මරණය ආදී ලෙස ඇයගේ පුද්ගලික ජීවිතය නිරූපණය වන අතර ඊට සමාන්තරව 71 අරගලය, නව ලිබරල් ධනවාදයේ ආගමනය, 87-89 අරගලය, ජාතිවාදයේ නැගීම, යුද්ධය සහ එහි නිමාව ආදී වශයෙන් සමාජ ජීවිතයේ නිරූපණයකුත් කෘතියේ දැක්වෙනවා. ප‍්‍රශ්නය කිඳුරියගේ පුද්ගලික ජීවිතය සහ මේ සමාජමය වෙනස්වීම් අතර ඇති සම්බන්ධය, පරස්පරය, තරඟය සහ ඒකත්වය කෘතිය තුළ හොඳින් නිරූපණය නොවීම. අපේ ජීවිත වල පුද්ගලික තලය සහ සමාජමය තලය අතර සම්බන්ධය අනාවරණය නොවීම නිසා එම ජීවන අත්දැකීම් වියුක්ත ස්වභාවයක් ගෙන තිබෙනවා.
මේ පිලිබඳ ප‍්‍රමුඛ උදාහරණයක් ලෙස අපට කිඳුරියගේ පවුල් ජීවිතය දක්වන්න පුළුවන්. කෘතියේ සඳහන් වන පවුල ඉතාම ප‍්‍රීතිමත් සම්බන්ධතාවයක් සහිත, සැමියා-බිරිඳ අතර ආදරය සපිරි, දෙමව්පියන්- දරුවන් අතර ඉතාම මෘදු ආදරණීය සම්බන්ධතා සහිත පවුලක්. තවත් ආකාරයකින් කියන්නේනම් එය පරණ කවි ගීත වල නිරූපනයවී තිබෙන ආර්ථික-සමාජ-දේශපාලන බලපෑම් වලින් ¥ෂිත වී නැති, ‘පිරිසිදු‘ පරමාදර්ශී පවුල. නමුත් එය මුළුමනින්ම පාරභෞතිකයක් වන්නේ සමාජයේ සිදුවූ වෙනස්කම් සියල්ල පවුල තුළ මිනිස් සම්බන්ධතා වලටද බලපාන නිසා. කෘතියේ විවරණය වන සමාජය මෙහෙමයි.
‘සෙම් සොටු වලට කෑදර
මළකුණු වලට ප‍්‍රිය
සීනි මීපැණි ලෙවකන
රූපවාහිනී තිර ‘
‘ හිස යටත් කළ පසුව
යටත් වෙයි කුසද
යටත් විජිතයක් වෙයි
මුළු ගතම‘
‘මිඩාස් නරවරා
අත තැබූ සියල්ලම
රත්තරන් විය එදා
තොරොම්බල් සමාජය අත තැබූ සියල්ලම
බඩු වීය විකිණෙනා‘
‘නන්නාදුනන මිනිසුන් අතර
නන්නාදුනන මාවත්වල
තෙරපෙන සෙනග අතරේ
දන්නා හඳුනන එකම රුව
මුදල් නෝට්ටුව පමණය‘
එවැනි ලෝකයක පවුල පමණක් රත්නශ‍්‍රී නිර්මාණය කර ඇති කිඳුරියගේ පවුල මෙන් සුරක්ෂිත සහ අ¥ෂිත වන්නේ නැහැ. ධනවාදයේ වර්ධනයන් මෙන්ම නව ලිබරල් උපයමාර්ගයත් පවුලට බලපෑවා. ඒ හේතුවෙන් පවුල තුළ ව්‍යාජ මිනිස් සම්බන්ධතා, පුරුෂ මූලික ආධිපත්‍යයේ සංකේත බවට පත්වූ පිරිමින්, ධනවාදයේ ආරක්ෂකයන් බවට පත්වූ ගැහැනුන් , පරත්වාරෝපනය ආදිය සහිත මැද පාන්තික පවුලේ සැබෑ යතාර්ථය කෘතිය තුළ අනාවරණය වන්නේ නෑ. ඒ නිසා ජීවිතයේ පුද්ගලික තලය සහ සමාජමය තලය අතර ඇති සම්බන්ධයේ දයලෙක්තිකය රත්නශ‍්‍රීට ගෝචර වූ ආකාරයේ දුබලතා තිබෙනවා.
කවිය
කිඳුරිය ඇසුරින් පුරුෂ මූලික සංකල්ප සහ සමාජ ආකල්ප වලට ඉතා කාව්‍යමය ලෙස පහර දෙන මේ කවි පොත ජාතික පීඩනය සම්බන්ධ ප‍්‍රශ්නයේදී සෙලවෙන්නට ගන්නවා. සඳගිර පාමුල කෘතිය තුළ යුද්ධයේ ඛේදවාචකය පිලිබඳ සැලකිය යුතු ස්වයංවිවේචනාත්මක පසුතැවිල්ලක් දක්නට ලැබෙනවා. එහෙත් එය කවියාගේ අවංක භාව ප‍්‍රකාශයක් නොවන බවට රසිකයාට සැක ඇතිවීම වලක්වන්න බැහැ. එයට හේතු කිහිපයක් බලපානවා. එකක් කවියාගේම ඉතිහාසය. රත්නශ‍්‍රී එක වකවානුවක ‘සිංහල සින්දු කියන- නළලේ තිලක තියන කිරිල්ලියක්‘ ගැන ලිව්වා. ඉන් පසු එම කිරිල්ලියට සහ ඇගේ කුරුල්ලාට වෙඩි තබන්නට යන හමුදාවට ‘ආයු රක්ඛන්තු ආවඩා‘ කියලා ගීත ලිව්වා. දැන් නැවත වරක් ඔහු,
‘කවියකට නොගත්
එක වචනයක් තිබේනම්
මේ ලොවේ කොතන හෝ ඉතිරිවී
ගෙන එන්න එය කිසාගෝතමී
එවදනින් පටන්ගෙන
මේ ශෝක ප‍්‍රකාශය
ඔබ අතට ලියා දෙන්නට හැකී
ඔබ එක්ක
පැන් වඩන්නට හැකී‘
කියා ලියනවා. එකක් මෙහි වගකීම රත්නශ‍්‍රීට පමණක් පැවරෙන්නේ නැහැ. රත්නශ‍්‍රී හමුදාවට ආශීර්වාද ගී ලියන්නේ වමේ ව්‍යාපාරය ජාතිවාදයේ පතුලටම වැටී හමුදාවට නිල් මානෙල් පලන්දවපු කාලයේ බව අමතක කිරීම කුහක කමක්. ඒ නිසා අපට ස්වයං විවේචනයකින් තොරව වියුක්තව කවියාට විවේචන එල්ල කරන්න බෑ. නමුත් ප‍්‍රශ්නය, රත්නශ‍්‍රී ජාතික ප‍්‍රශ්නයට අදාලව තමන්ගේ ස්ථාවර වල සිදුවූ වෙනස පිළිබඳව සමාජයට විවෘත නෑ. ඔහු විවෘතව ස්වයං විවේචනයක් ඉදිරිපත් කර නෑ. ඒ වගේම තමන්ගේ ස්ථාවර වෙනස්වීමට අදාළ බුද්ධිමය හෝ හැඟීම් වලට අදාළ හේතු අනාවරණය කර නෑ. ඒ නිසා කවියා ජාතිවාදයට අදාලව හෙට ගන්නා ස්ථාවරය පිලිබඳ වගකීමක් භාර ගැනීමට තරම් විශ්වාසයක් අප කාටවත් ඇති වෙන්නෙත් නෑ. දෙවැන්න මෙහි යුද්ධයේ විනාශය කාව්‍ය ආකෘතිය හරහා සෞන්දර්යකරණය කර තිබීම. යුද්ධයේ මහා ඛේදවාචකය විස්තර කරන්න කවියා යොදා ගන්නේ සිංහල භාෂාවේ ඇති අතිශය සෞන්දර්යමය සහ ඓතිහාසිකව ජාතිකවාදී අර්ථයන් දෙන වචන. නිදසුනකට මෙම කවි කිහිපය දෙස බලමු.
‘තිරුකේතිශ්වරමේ
මඩු පල්ලියේ
නල්ලූර් කෝවිලේ
එම්බාම් නොකළ
සත්‍යයේ මළ සිරුරු ඇත තවම
හිස සිඳ දැමු තල්ගස්
හිස සිඳලූ ගෙවල්
ගිනිගත් වෙළඳසැල්
පැලැස්තර අලවාගෙන
වෙළුම් පටි පෙන්වන
වේදනා විඳිත් දෙවියෝ
එල්ලී කුරුස ගසේ
සත් අසිපත් තුඩින්
විස්සෝප සතකින්
දැදුරුවූ ළයකින්
දැඩිව දුක් විඳින්නෝ
විස්සෝප මාතාවෝ‘
ජාතිවාදය, යුද්ධය වැනි මහා මානව ඛේදවාචක මේ ආකාරයට සෞන්දර්ය කරණය කරන්න පුලූ?වන්ද? මේ ප‍්‍රශ්නය කාලයක් තිස්සේ කවීන් අතර විවාද වන ප‍්‍රශ්නයක්. වැදගත් වන්නේ කවියේ අන්තර්ගත අදහස මිස එහි භාෂාමය ලක්ෂණ නෙවෙයි නේද කියා යමෙක් විමසිය හැකියි. එහෙත් කවියක අන්තර්ගතය වගේම ආකෘතියත්, එහි උපමා, රූපක, අලංකරණ සහ සෞන්දර්යාත්මක ලක්ෂණ හැම එකක්මත් නිශ්චිත සමාජ-ඓතිහාසික- දේශපාලන කොන්දේසි වල ප‍්‍රකාශයට පත්වීමක්. ඒ නිසා කවියක වචන සහ එහි සෞන්දර්යවේදය එහි අර්ථයට විශාල බලපෑමක් කරනවා. සිංහල භාෂාව එනමින් හැඳින්වෙන ජනතාවගේ මව්බස වීමට අමතරව ධනේශ්වර රාජ්‍යයේ ප‍්‍රධාන දෘෂ්ටිවාදී මෙවලමක් සහ ජාතික පීඩනයේ වාහකයා බවට පත්වූ යතාර්ථයක් තුළ එහි සම්ප‍්‍රදායික සෞන්දර්යවේදය සහ ‘කාව්‍යමය වචන‘ භාවිතයේදී බෙහෙවින් ප‍්‍රවේසම් සහගත විය යුතුයි. යුද්ධය පිලිබඳ කවි ලිවීමේදී රත්නශ‍්‍රීට 56 දරුවන්ගේ සම්භාව්‍යවාදය සහ සෞන්දර්ය චින්තනයත් සිංහල භාෂාව පිලිබඳ ජාතිකවාදී ආකල්පත් බලපෑ බවට මෙම කෘතිය සාක්ෂි දරනවා. යුද්ධයේ විනාශය සහ ඛේදවාචකය පිලිබඳ කවියාගේ දෘෂ්ටිය අවංක සහ අව්‍යාජ නොවන බවට රසිකයාට හැඟීමක් එන්නේ ඒ නිසා.
එයින් අදහස් වන්නේ සිංහල භාෂාවේ මෙවැනි වචන අත්හල යුතු බව නෙවෙයි. මෙවැනි විවාදයක් නාසි ජර්මනියේත් තිබුනා. අති විශිෂ්ට අර්ථපූර්ණ භාෂාවක් වන ජර්මන් භාෂාවේ වචන බොහොමයක් හිට්ලර් විසින් සිය නාසිවාදී ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගත්තා. ඒ නිසාම එම වචන යලි ප‍්‍රගතිශීලී අරුත් සම්පාදනයට යොදා ගත හැකිදැයි විවාදයක් පැවතුනා. තියඩෝර් ඇඩර්නෝ වරක් මෙසේ පැවසුවා. ‘අවුෂ්විශ්ට් වලින් පසු කවි ලිවීම අපරාධයකි‘ (අවුෂ්විශ්ට් යනු යුදෙව්වන් ලක්ෂ ගණනක් මරාදැමූ නාසි වධකාගාරයකි) එහිදී ඇඩර්නෝ අදහස් කළේ ඒ මහා මානව ඛේදවාචකය සෞන්දර්යකරණය කිරීම අපරාධයක් බව. ඉන් අනතුරුව පැමිණි බොහෝ ජර්මන් කවීන් ජර්මන් භාෂාවේ සාහිත්‍යමය යෙදුම් ප‍්‍රතික්ෂේප කරමින් එදිනෙදා කතා කරන භාෂාවට වැඩි ඇල්මක් දක්වන තත්වයක් ආවා. මේ අතර තවත් ජර්මානු විචාරකයෙකු වන ජෝර්ජ් ස්ටයිනර් පැවසුවේ කවීන්ට භාෂාවේ දෘෂ්ටිවාදී සහ සංස්කෘතික යුද්ධය ඉදිරියේදී වුවත් වචන හැරදා පලා යා නොහැකි බව. කළ යුත්තේ පසුගාමී දෘෂ්ටිමය සිරගෙයක සිරකරන ලද භාෂාවක් අතහැර පලා යාමද, එසේත් නැතිනම් එවැනි භාෂාවක් සමකාලීන මානව අනුභූතීන් සෞන්දර්යාත්මකව ප‍්‍රකාශයට පත් කරන නව භාෂා අර්ථකතනයක් සහ නව සෞන්දර්යවේදයක් නිර්මාණය කර ගැනීමද යන උභතෝකෝටිකය ඉදිරියට එදා ජර්මන් භාෂාව මෙන් අද සිංහල භාෂාවත් පැමිණ සිටිනවා. මෙහිදී එකිනෙකට පරස්පර ලෙස පෙනෙන ඇඩර්නෝගේ සහ ස්ටයිනර්ගේ මත දෙකෙහි ඇති දයලෙක්තික සම්බන්ධය ග‍්‍රහණය කර ගැනීමෙන් අපට උභාතෝකෝටිකයෙන් ගැලවෙන්න පුළුවන්.
කවියා
මේ සියල්ල පැවසුවේ රත්නශ‍්‍රීට නොතේරෙන අතර අපට සියල්ලම තේරෙන බව කීමට නෙවෙයි. කවියාගේ දැක්ම වියවුල් සහගත වන අතර අපට පරිපූර්ණ දැක්මක් ඇති බව පැවසීමටද නෙවෙයි. කලාකරුවා මෙන්ම දේශපාලන ක‍්‍රියාධරයාත්, අනෙක් හැම දෙනාමත් සිටින්නේ එකම අභියෝගයක් ඉදිරියේ. හැම තැනකම අරක්ගත් වියවුලක් තිබෙනවා. ඒ වියවුලෙන් ගලවෙන්නනම් සමාජය මහා පිම්මක් පනින්න වෙනවා. ඒ මහා පිම්ම කියන්නේ රත්නශ‍්‍රී කියන ලෙසම ආදරය ආගම බවට පත්වූ සමාජයක්.
‘ආදරය
ආගමක් විය යුතුය ලෝකයේ.
එතෙක් කල්
යාඥා, සෙත් පිරිත්,
ස්තෝත‍්‍ර, කන්නලව්
සජ්ජායනා වුණාවේ!‘
ඒ පිම්ම පැනීමට කවියාගේ දායකත්වයද තීරණාත්මකයි. අප කියන්නේ වාම දේශපාලන ක‍්‍රියාධරයන් ලෙස අප කළ යුතු දේත් කවියන්ට පවරා, අප අසාර්ථකවූ හැම තැනම කවියන් ජය ගත යුතුයැයි පවසා අත පිසදා ගැනීමට නෙවෙයි. සමාජය ඒ පිම්ම පන්නවන කටයුත්තේදී දේශපාලන ක‍්‍රියාධරයින්ට වගේම කවියන්ටත් වගකීමක් තිබෙනවා. ඒ වගකීම ගන්නනම් රත්නශ‍්‍රී 56 සෞන්දර්යවේදයෙන් සහ ජාතිකවාදී සිරගෙදරින් මිදිය යුතු වෙනවා. ඒ සඳහා තමාගේ භූමිකාව ජාතියේ මහා කවීන්ද්‍රයාණෝ වීමද, නැතිනම් විමුක්තිදායක සිහිනයේ නියෝජිත රැුඩිකල් කවියා වීමද යන දෙකින් එකක් රත්නශ‍්‍රී බේරාගත යුතු වෙනවා. ඔහුගේ කවි අධිපතිවාදී සෞන්දර්යවේදයෙන් මනිනු ලබන අපේ මිනුම් දඬුත් වෙනස් කර ගන්න වෙනවා. සඳගිර පාමුල ලතවෙමින් නොසිට සඳගිර තරණය කිරීමට සිංහල කවියටත්, ලාංකීය සමාජයටත් හැකිවන්නේ එවිට.
එවිට පමණයි.
Comments
Post a Comment