‘ඇගේ ඇස අග’ - නැත, අපේ ඇස් අග!


මේ දිනවල තිරගතවන අශෝක හඳගමගෙ චිත‍්‍රපටය, ‘ඇගේ ඇස අග’ - පැති ගණනාවක් තුළ සාක්ච්ඡුා කරන්න විචාරක ඇස යොමු කරන්න සමත් කෘතියක් ලෙස හඳුනාගන්න පුළුවන්. එක් පැත්තකින් ධනේශ්වර නීතියෙන් ඒකරාශි කර ඇති ගෘහස්ත ජීවිතවල මානව සම්බන්ධතා ගැටලූ පිළිබඳ සාකච්ඡුාවක් මේ චිත‍්‍රපටය තුළින් ආරම්භ කරන්න පුලූවන්. ඒක වර්තමාන සමාජය තුළ පවුලේ ඛේදවාචකය නිරූපිත තේමාවක් ලෙසත් විස්තර කළ හැකියාව කෙනෙකුට තියෙනවා. එසේම තව පැත්තකින් පියාගේ ආදරය රැුකවරණය ලබාගන්න නොහැකි වූ දැරියක් තරුණ වයසේදී සිය පියාගේ වයසේ කෙනෙකුගෙන් අහිමි වූ දේ සොයන්නට ගන්නා වෙහෙසක් ලෙස මනෝවිශ්ලේෂණාත්මක ප‍්‍රවේශයකින් සිනමා කෘතිය දෙස බලන්න පුළුවන්. ඒ වගේම වයස කියන සාධකය ආදරය වරනා මනුෂ්‍ය සබඳතාවකට බාධාවක් නොවන බව දක්වමින් මේ සිනමා කෘතිය ගැන කතා කරන්නත් කෙනෙකුට පුළුවන්.
එහෙත් ‘වම’ පුවත්පත කියන්නේ නිර්ධනයාගේ දේශපාලන පක්ෂයේ මධ්‍යම පුවත්පත ලෙස සලකමින් ‘රළ’ අතිරේකයේ අපි උත්සාහ කරන්නේ ‘ඇගේ ඇස අඟ කෘතිය තුළ වෙනත් දේශපාලන කාරණා සාකච්ඡුාවට ලක් කිරීමටයි. එයින් අදහස් වන්නේ කලා කෘතියක් යම් න්‍යයාත්මක කෝවක් තුළ සාකච්ඡුා කළ යුතු බවට අවධාරණය කරන්න හෝ කලාකරුවාගේ නිර්මාණාත්මක ශ‍්‍රමය හුදු දේශපාලනයක සිරකර තැබියයුතුය වැනි අදහසක් නෙවෙයි. නමුත් අපි හිතනවා මේ සිනමා කෘතිය එහි ප‍්‍රකාශිත දේශපාලනය කතා කරන්න අපට ලබාදෙන අවස්ථාවක් ලෙස. එසේම කතා කෘතියක සෞන්දර්යාත්මක පක්ෂය හා නිර්මාණයේ අන්තර්ගත කලාත්මක ගුණාංග පිළිබඳ සාකච්ඡුාව අප එයින් අවතක්සේරු කරනවාත් නොවේ. ඒ වෙනුවට අප මේ කෘතියෙහි විශේෂයෙන් අවධානයට ගතයුතු කලාපයක් පිළිබඳ සාකච්ඡුා කරන්න කල්පනා කළේ අප විසින් රළ අතිරේකයේ කළ යුතු සාකච්ඡුාවක් ගැනීමට සහ පුවත්පතේ ඉඩ කඩ සීමා ගැනත් සළකමින්.
‘ඇගේ ඇස අග’ චිත‍්‍රපටය තුළ ප‍්‍රධාන චරිත හතරක් තිබෙනවා. ඒ, මහාචාර්යවරයෙක්, ඔහුගෙ බිරිය, ගැටවර වයසෙ දියණිය සහ මහාචාර්යවරයා සමග පෙමින් බැඳෙන ඔහුගේ සරසවි ශිෂ්‍යාව ලෙස අපට හඳුනාගන්න පුළුවන්. හැබැයි අපි ඒ චරිතවල නම් දන්නෙ නෑ. අපට චිත‍්‍රපටයෙදි කියැවෙන හැඳින්වීම් ගැන විතරයි කියන්න වෙන්නෙ. ඒ කියන්නෙ, ප්‍රොෆෙසර්, මැඩම්, දුව, අක්කා ඔන්න ඔය හැඳින්වීම් අපට අහන්න ලැබෙනවා. නම් දන්නෙ නැති නිසාම අප අපේ ජීවිතයෙදි දකින ඓා් දන්න  ඕනැම චරිතයක නමක් මේ චරිතවලට දාගන්නත් පුළුවන්. මේ චරිත හතරෙම විශේෂත්වයක් වගේම පොදු ලක්ෂණයක් තිනෙවා. ඒ තමයි තමන් ජීවත්වන පරිසරයෙදි  ඕනෑම මිනිහෙකුට තිබිය යුතු මිනිස් සබඳතා අහිමිවීම සහ ඒ නිසාම තමන්වද අහිමි වීම. මේ තත්වය ගැන මාක්ස් විස්තර කළේ ‘පරත්වාරෝපණය’ ලෙසයි. තමන්ගෙ ශරීරය, තමන්ගෙ මනස, හැ`ගීම් සහ තමන් හා බැඳුණ අනෙක් අයගෙන් වෙන්ව ගිය සමස්තයෙන් හුදකලා වූ ඒ නිසාම විකෘති වූ චරිත මේ චිත‍්‍රපටයෙ නිරූපණය වෙනවා.
මහාචාර්යවරයා ගත්තම එයාගෙ දෛනික ජීවිතය දරාගන්න බැරි තරම් ඒකාකාරි එකක්. හැමදාම උදේ විශ්වවිiාලයට ගිහින් හවස ගෙදර එනවා. හැමදාමත් ඒ එන වෙලාවට දුව ටෙලිවිෂන් එක බලමින් ඉන්නෙ. පියාගෙත් දුවගෙත් සබඳතාව වෙන්නෙ ඔහු හැමදාම චොක්ලට් එකක්, බිස්කට් පැකට් එකක් දුවට ගෙන එන එකෙන්. ඒ දේ දෙන්නෙත් මානව බැඳීමක ස්වරූපයට වඩා යාන්ත‍්‍රික ක‍්‍රියාවක් ලෙසයි. දුව හායි කියනවා. පියත් හායි කියනවා. මහාචාර්යවරයා කාමරයට යන්න තරප්පුව නගින කොට බිරිය බුදුන් වඳිමින් ඉන්නවා. කාමරයට ගිහින් සපත්තු දෙක ගලවා දමනකොට, කමිසය ගලවන කොට බිරිය ඇවිත් ඒවා නිසි තැන්වල තියනවා. ඔහු නානකාමරයට යනවිට ඇගේ කාර්ය තුවාය දෙන එක. මේ සිදුවීම් නැවත නැවත අපට දක්නට ලැබෙනවා. එම ජීවිතවල යාන්ත‍්‍රික බව මානව සබඳතා අහිමි ලක්ෂණ හොඳින්ම නිරූපණය වෙනවා. බලා ඉන්න වෙහෙසක් දැනෙන තරමට ඒ තත්වය නිරූපණය කෙරෙනවා. වෙන දෙයක් තියා මහාචාර්යවරයාගේ අලූත් සබඳතාව ගැන කාරණය ගැනත් බිරිය කතා කරන්නෙ දුරින් ඉන්න කෙනෙක් වගේ.
කවිය වගේ කලා මාධ්‍යයකදි පුනරුක්තිය දෝෂයක් ලෙස සලකනවා. නමුත් සංගීතයෙදි එකම ස්වරය නැවත නැවත යෙදීමෙන් ඒක සෞන්දර්යාත්මක රසය මතුකරවන ලක්ෂණයක් ලෙස හඳුන්වනවා. පුනරුක්තියෙන් කවිය ¥ෂිත වේ, සංගීතය භූෂිත වේ යනුවෙන් කියැවෙනවා. මේ චිත‍්‍රපටයෙදි පුනරුච්ඡුාරණය දෝෂයක් නෙමෙයි කියලා හිතෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එකම දර්ශනය වෙන වෙන ඇඳුම් ඇඳගෙන නැවත නැවත නිරූපණය වෙන්නෙ ඇයි කියලා කෙනෙකුට ප‍්‍රශ්නයක් එන්න පුළුවන්. ඔවුන් ජීවත් වෙන නිවස ලස්සන ගොඩනැගිල්ලක් වුවත් ඒකෙ කිසිම තෙතමනයක්, ජිවයක්, මිනිස් සම්බන්ධතා නැති බව පේ‍්‍රක්ෂකයට දැනෙනවා. ඒ නිසරු ගොඩනැගිල්ලක් බව ඒත්තු ගැන්වීමෙන් නිර්මාණකරුවා කරන්නෙ ඒ පවුලෙ අය අතර මිනිස් සබඳතා ගිලිහී ගිහින් තිබෙන ආකාරය සංකේතවත් කිරීමයි. ඒ අයට අනෙක් අය හඳුනාගන්න අර්ථගන්වා ගන්න බැරි තත්වයක් තියෙනවා වගේම තමන්ට තමන් අර්ථගන්වා ගන්නත් බෑ. මහාචාර්යවරයා තමන්ව හඳුනාගන්න බැරි යාන්ත‍්‍රික වියළි ජීවිතයේ පීඩනයක ඉන්නෙ. ඔහුගෙ දියණිය මව හෝ පියා සමග බැඳීමක් නැති වියළි චරිතයක් බවට පත් වෙලා. පාසල් ගමනට පස්සෙ දවසම අයි පෑඞ් එකේ සහ රූපවාහිනී නැරඹීම වැනි දේවලින් මොනවදෝ ලබාගන්න මේ ලාබාල දැරිය උත්සාහ කරනවා. මහාචාර්යවරයා සමග සම්බන්ධතාවක් පවත්වන තරුණිය තමන්ගෙ රූල සොබාව ගැන අතිශයෝක්තියක් ප‍්‍රකාශ කරනවා. ඈ කියන්නෙ තමන්  රූමත් නිසා සියලූ දෙනාම තමන්ට දැපනෙ වැටෙන බවයි. ඒ නිසා ඈ පන්සලට යනවට ගමේ අය විරුද්ධයිලූ. ඇය එතරම් රූප සුන්දරියක් නොවුණත් ඈ තමන්ට තමන් අහිමිවීම නිසා එහි පීඩාවෙන් පළායන්න හදාගත්ත ක‍්‍රමයක් අනුගමනය කරනවා. ඈ තමන් ජීවත්වෙන යතාර්ථයේ නෙවෙයි  වෙනත් ව්‍යාජ අර්ථකථනයක ඉන්නෙ. එයා හිතන්නෙත් එයාම මවාගත්ත අර්ථකථනය සත්‍යයක් කියලයි.
මේ චරිත සියල්ලම සමාජ ජිවිතයක් ගෙවනවා අපි දකින්නෙ නෑ. ඔවුන් ඉන්නෙ තමන් විසින් හදාගත්ත සීමාවක හිරවෙලා. පුද්ගලික ජීවිත අතිශය නිසරුවීම නිසා ඔවුන් ඒ පීඩාවෙන් පළායන්න හදාගත්ත සිහින තුල ජීවත්වෙන්න උත්සාහ කරනවා. සියල්ල අහිමිවීම නිසා තමන්ම යථාර්ථයෙන් පිටට අරගෙන ඔවුන් ජිවත් වෙන්නෙ. සාමාන්‍ය වැඩකරන ජනයාට අද ලැබී තිබෙන යාන්ත‍්‍රික ජීවිතයෙදි ඔවුන් නිෂ්පාදනයෙ තෘප්තියෙන් ඈත් කරනු ලබනවා. නිෂ්පාදන ජිවිතයත් පවුල් ජීවිතයත් අහිමි කරලා සංස්කෘතික ජීවිතයක්, තෘප්තියක් හෝ අරමුණක් නැති නිස්සාර රටාවකට ගොදුරුවීමයි සිදුවෙන්නෙ. තමන් විසින් ගොඩනගාගත් සීමාවන් ඉක්මවා යන්න ඔවුන්ට අවශ්‍යයි. ඒත් එහෙම කරන්න බැරි ව්‍යාජ රාමුවක ඔවුන් ම සිරගතවෙලා.
ඒ බව හොඳින් නිරූපණය වෙනවා මහාචාර්යවරයගෙ නෝනයි. දුවයි දෙන්නම පන්සලට ගිය වෙලාවෙ ඔහු හැසිරෙන ආකාරයෙන්. ඒ වෙලාවෙ තමයි අර විධිමත් ඇඳුම් වෙනුවට තුවා කෑල්ලක් ඇඳගෙන, රූපවාහිනී බලන්නෙ, ඉයර්ෆෝන් එක ගහගෙන සින්දුවලට නටන්නෙ, සෙන්ට් සුවඳ ඉහගන්නෙ, ලිංගිකමය සිහින දකින්නෙ ඒ නිදහස එයාට බුක්ති ෙවිඳින්න හැකි වෙලාවෙ. මේ වගේ හැසිරීමක් තියෙන්න  ඕන එයාගෙ සමීපතමයන් ඉන්න සතුටුදායක කියලා සිතිය හැකි වෙලාවෙ වුවත් ඔවුන් නැති වෙලාවෙ තමයි ඔහු ජිවිතය අත්පත් කරගන්නෙ. ඒකට හේතුව ඔවුන් ඉන්නෙ මානව බැඳීම්වලින් සතුටුවෙමින් එකිනෙකාට අව්‍යාජ ආකාරයකින් නෙවෙයි. මේ වර්තමාන මධ්‍යම පන්තික ජීවිතයෙ ව්‍යාජත්වය සංකේතවක් කරන තත්වයක්. ඔවුන් ජීවත් වෙන්නෙ ව්‍යාජ බැඳීම් හදාගෙන ඒවා තුළ තමන්ම කොටුකරගෙන. මේ වෙලාවෙ මහාචාර්යවරයා අහන ‘කැනනයිස් යුව සින්ස්’ගීතය කියන්නෙ ‘ඔබේ පව් ශුද්ධත්වයට පත් කරන්න’ යන අදහසයි. ජීවිතේ සාරය කියන්නෙ ලස්සන මිරිගුවක් හෝ අවලස්සන යථාර්ථයක් නෙවෙයි. මේ ත්‍ඹෘත්‍ශෘත්‍ත් ගෙවන ජිවිතෙන් අපට ජීවිතය වටහාගන්න බෑ. පරත්වාරෝපනය තුළ තිබෙන ජිවිතය ඇත්ත ජීවිතය නෙවෙයි. හැබැයි ජීවිතේ කියන්නෙ තනිවෙන හීනෙකුත් නෙවෙයි. මේ අවලස්සන යථාර්ථය හෝ අප දකින ලස්සන හීන හෝ මේ දෙකම සැබෑ ජිවිතය හා සමපාත නෑ. මහාචාර්යවරයා නටන්නෙ පසුබිමින් වාදනය වන ගීතයටයි.
”ජීවිතය කියන්නේ
සුරංගනා කතාවක් නොවේ
අමිහිරි සත්‍යයක්ද නොවේ
ඒ ඔබට පේන හැටියයි...
පොළොව පසා කරන
ලේ වැකි අකුණු පහර කියන්නේ
ලෝකය මුලා වී ඇති බවක් නොවේ..

පවසන්න මා හට,
පෙන්වන්න ඔබේ ඇතුලාන්තය
හැම රහසකටම ඇත
එහිම වූ හේතුවක්
පව්කාරයන් වුවද පේ‍්‍රමයෙන් බැඳේ...”
https://youtu.be/TxXMiSLv5B4
ජිවිතයේ මේ හිස්කම වහගන්න මධ්‍යම පන්තියේ බොහෝ දෙනා ආගම දෙසට නැඹුරු වෙති. මහාචජර්යවරයාගේ බිරිය අප මුලින්ම දකින්නේ සිය ජිවිතයේ අඩුව වසාගන්නට ආගම පසුපස යන චරිතයක් බවයි. ඉන්පසුව ඇගේ දියණියද ඒ මාවතට ආශක්ත වේ. අවසානයේ සරසවි ශිෂ්‍යාවද යන්නේ එසේ ආගමෙන් සිය හිස්බව පුරවාගන්නා මාවතේමය. ඉහළ මැදපන්තියේ ආදායම් මට්ටම අනුව, පරිභෝජනය රිසි පරිදි පවත්වාගෙන යා හැකිය. එම ජිවිත කායික සන්තර්පනයෙන් ජිවිතය විඳගන්නට තෘප්තිමත් වෙන්නට නොහැකි බව වටහාගෙන ඊළඟට තැත් කරන්නේ ආගමෙන් ජිවිත පරමාදර්ශ සපයාගන්නටය. ඔවුන් මෙසේ ආගම හෝ වෙනත් ආධ්‍යාත්මික ක‍්‍රමවේදයකින් ජීවිතයේ අඩුව පුරවාගන්නට තැත් කළත් ආදායම් මට්ටම පහළින් පවතින පහළ මැද පන්තික ජනයා ඒ අඩුව පුරවාගන්න තැත් කරන්නේ පරිභෝජන භාණ්ඩවලිනි. හුවමාරු භාණ්ඩවලින් අපට ජීවිතය ලැබෙන්නේ නැත. අප ජිවිතය සොයන්නට අනුගමනය කරන කිසිදු ක‍්‍රමයකින් අපට ජීවිතය හමු වන්නේ නැත. අපිට අපව සොයාගන්නට ඒ ආකාරයෙන් කළ නොහැකිය. අපි ජිවිත විමුක්තිය සොයායන පන්සල හෝ වෙනත් ආගමික ස්ථානයක අපට ජිවිතය හමු නොවේ. මේ චරිත පන්සලට ගියාම එතන ඉන්න භික්ෂුව කතා කරන්නෙ අපට පරත්වාරෝපණයෙන් මුදාහරින බව හිතාගෙන ඉන්න කිසිම දෙයක් ඇත්තටම ශුද්ධ වූ අවකාශයක් නෙවෙයි. එතනත් අපගේ පවුල් ජිවිතය තුළ හෝ නිෂ්පාදන ජීවිතයෙ ඇති අවුල් ලිහාගන්න පන්සලට ගියාම පන්සලේ ආගමික නායකයන් දේශපාලකයන් අතර කතා වෙන්නෙත් අලූතින් පන්සලට ඉදිකරන්න යන ගොඩනැගිල්ලක් ගැනයි. එහිදී යම් සම්බන්ධතා පටලැවිල්ලක් නිසා ස්ත‍්‍රින් දෙදෙනකු අතර ගැටුමක් ඇති වේ. මේ අය එතැනින් පළා යන්න උත්සාහ කළත් ඔවුනට යන්න වෙන්නෙ නැවතත් තමන්ගෙ නිවසටයි.
අපි ගැලවෙන්න බැරි තරම් මංමුලාවක වැටිලා කියලා අගවන්න මේ චිත‍්‍රපටයෙ නිර්මාණකරුවා උත්සාහ කරනවා. ඒක ඉතාම හොඳින් දැනෙනවා. මොකද චිත‍්‍රපටිය පටන්ගන්නෙ එහෙම පලා යන අවස්ථාවෙ කියැවෙන දෙබස්වලින්. චිත‍්‍රපටය ආරම්භ වෙන්නෙ යම් සිදුවීමක් ගැන තමන්ගෙ අදහස් දක්වන, ඒ සිදුවීම තමන්ගෙම කෝණයකින් කියවාගන්න තැත් කරන ගැහැණු පිරිමි කීපදෙනෙක් මෝටර් රථයක ගමන් ගන්නා රාත‍්‍රි දර්ශනයකින් යම් උද්වේගකර සිදුවීමක් ගැන කටහ`ඩ කීපයකින් කියැවෙන මේ සංවාදය තුළ මෝටර් රිය වේගයෙන් ධාවනය වෙනවා. නිවස කරා යනවා කියන්නෙ ඔවුන් නැවත පරන ජිවිත අත්දැකීම්වලට මුහුණ දෙන්න නියමිත බවයි. ඒ කියන්නෙ අපිට නැවත නැවත මේ ඉරණමට මුහුණ දෙන්න වෙන බවයි. විෂම චක‍්‍රයක අපි ආයෙත් කැරකෙන බවයි. ජීවිතය විඳ දරාගන්න බැරිව පළායමින් අපි ආපහු යන්නෙත් ජිවිතය අහිමි ව්‍යාජ ක්ෂේමභූමියකටයි. පන්සල ක්ෂේමභූමියක් නෙවෙයි, ගෙදරත් ක්ෂේමභූමියක් නෙවෙයි. එසේ නම් විමුක්තිය තියෙන්නෙ කොහෙද? පරත්වාරෝපනයෙන් මිදෙන තැන කොහෙද? අන්න ඒකයි අපේ ජිවිතවල අද දවසෙ ප‍්‍රශ්නය.
චිත‍්‍රපටය අවසන් වෙන්නෙ ගීතයකින්. ඒ දචිත‍්‍රාල් සෝමපාලගෙ ගීතය යෝජනා කරන්නෙ, මුරගා කියන්නෙ ‘ඇහැරෙන්න’ කියලයි. මහවැස්සට ගිනිගත් මේ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න. ගීතය අවසානයේ කියැවෙන්නෙ, මේ හීනෙන් ඇහැරෙන්නෙ කොහොමද කියලා මට කියන්න, කියලා.
”ඇහැරෙන්න ඉතින් දැන්වත්
ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න......

මහ වැස්සක ගිනිගත්ත
ඒ පේ‍්‍රමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න......

දැමුණු සුහික්මුණු
පිළිවෙත් සුරැුකුණු
මගේම විජිතයෙහි
මා කිරුල දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරා ගත්තා
මහ වැස්සක ගිනිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න......

ආදරය අකැප හින්දා මම වෙස්වළා සිටියා

දැමුණු සුහික්මුණි
පිළිවෙත් සුරැුකුණු
මගේම විජිතයෙහි
මා වෙස්වලා සිටියා
ආදරය අකැප හින්දා
ඇහැරෙන්න..........

ඇහැරෙන්න කළින් සිහිනෙන්
මට කියාදෙන්න
කොයි සිහිනෙන්ද කියා
මා ඇහැර
පලා යන්නේ
මේ මොරසූරන වැස්සේ
ඇහැරෙන්න......

සිහින ගිනි ගන්නා
මේ මොරසූරණ වැස්සේ
මා ඇහැර පලා යන්නේ
කොහේදැයි කියා .......
මට කව්ද කියාදෙන්නේ
කව්ද කියාදෙන්නේ
ඇහැරෙන්න.....

මහ වැස්සක ගිනිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න.....
මහ වැස්සක ගිනිගත්ත
ඒ නිංකාර සිහිනේ
ඇහැරෙන්න.....”
https://youtu.be/c9CorFxdBro
මේ ගීතයේ පදමාලාව ලියා තියෙන්නෙ චිත‍්‍රපට අධ්‍යක්ෂ හඳගම විසින්මයි. මේ ඇහැරෙන්න කියන්නෙ හීනයකින් නෙවෙයි, මේ කියන්නෙ අපි ජිවත්වන යථාර්ථයෙන් ඇහැරෙන්න කියලයි. අප ජිවත්වන යථාර්ථය හිනයක්, ඒකෙන් ඇහැරෙන්න කියලා නිර්මාණකරුවා මුලූමහත් ජනසමාජයට ආයාචනා කරනවා. අප ජිවත්වන පරත්වාරෝපණයට ගොදුරු කරන ධනේශ්වර සමාජ යථාර්ථයක් තියෙනවා. අපි එහෙම රුදුරු ඉරණමක ජිවත්වන බව හෙළිදරව්වීම වහන්න හදන ආගම, හුවමාරු භාණ්ඩ, කායික සන්තර්පනය වැනි ආරෝපණයන් තියෙනවා. ඒ ව්‍යාජ මායාවෙන් ඇහැරෙන්න කියලා නිර්මාණකරුවා අපට කියන්නෙ. චිත‍්‍රපටය අවසන් වෙන්නෙ ඇහැරෙන්නෙ කොහොමද කියලා අපට කියලා දෙන්න කියලයි. ඉතින් සිනමාකරුවා කලාත්මක ආකාරයට තමන්ට කියන්න තියෙන උපරිම දේ ප‍්‍රකාශ කරනවා. ඒ නිසා තමයි ඔහු අපට මේ ව්‍යාජ යථාර්ථයෙන් අවදිවෙන්න කියන්නෙ. ඉතින් කලාකරුවාගේ කාර්ය එතැනින් අවසානයි. මෙතැන් සිට තමයි දේශපාලන ව්‍යාපාරයක කාර්ය ආරම්භ වෙන්නෙ. මේ නිසා ඒ ඇහැරෙන එක කරන්නෙ කොහොමද කියලා අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස කතා කරන්න  ඕන. චිත‍්‍රපටය බැලූ අය වගේම නොබැලූ අයත් සමගත් මේ සාකච්ඡුාව අපට කරන්න වෙනවා.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?